• බදු අය කිරීම 2026 අප්‍රේල් 01 සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණා

ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ඩිජිටල් සේවා සැපයීම මත පනවන ලද එකතු කළ අගය මත බද්ද (VAT ) ක්‍රියාත්මක වන දිනය 2026 ජූලි 01 තෙක් තවදුරටත් කල් දමනු ලබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි. 2026 අප්‍රේල් 01 සිට මෙය ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි.

2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මගින් 2025-10-01 දින සිට බලපැවැත්වෙන පරිදි නිර්වාසික තැනැත්තෙකු (Non resident) විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර තිබේ. 

කෙසේ වුවද, ඩිජිටල් සේවා සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේ දී එයට අනුකූල වීම සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දෙන ලෙස ප්‍රායෝගික හේතූ කිහිපයක් දක්වමින් නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් විසින් කර තිබූ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අදාළ බද්ද බලාත්මක කෙරෙන දිනය මීට පෙර 2026 අප්‍රේල් 01 දක්වා කල්දැමුණි. නව නිවේදනයට අනුව අදාළ බලාත්මක කෙරෙන දිනය නැවත වතාවක් කල් දමා තිබේ.

ශ්‍රී ලංකාවේ පුද්ගලයකු හට විද්‍යුත් වේදිකාවක් හරහා සේවා සපයන නිර්වාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවීමට යටත්වනු ඇත. මෙහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රුපියල් මිලියන 60 ඉක්මවූ සේවා සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රුපියල් මිලියන 15 ක් ඉක්මවා සේවා සපයා ඇති අයවළුන් ලියාපදිංචි වීම අනිවාර්ය බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.