ශ්‍රී ලංකාවේ පොදු මගී ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීමට රජය ගන්නා උත්සාහයට සහාය ලබා දීමේ අරමුණින් කොමර්ෂල් බැංකුව, NCG Express සමග එක්වී සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ බස් ටිකට්පත් ලබාගැනීමේ පහසුකම හඳුන්වා දී ඇත. ඒ හරහා මගීන්ට බැංකු කාඩ්පත්වලින්, QR කේත මගින් මෙන්ම Contactless තාක්ෂණය භාවිතයෙන් බස් ගාස්තු ගෙවීම කිරීමට හැකියාව ලැබේ.
මෙම සහයෝගීතාව රජයේ ඩිජිටල් ටිකට්පත් හඳුන්වා දීමේ මුලපිරීමට සහාය දක්වන අතරම, ශ්‍රී ලංකාවේ පෞද්ගලික මගී ප්‍රවාහන අංශයේ ඩිජිටල් ගාස්තු ගෙවීම ප්‍රචලිත කිරීමට දරන මහා පරිමාණ ප්‍රයත්නයක් ද සනිටුහන් කරයි. බැංකු ජාලය හරහා ආරක්ෂිතව ගෙවීම් ලබාගැනීම හා ස්වයංක්‍රීයව ගෙවීම් පියවීමේ කටයුතු සමග ටිකට්පත් නිකුත් කරන උපාංග ඒකාබද්ධ කිරීමෙන් කාසි හා නෝට්ටු මත යැපීම අඩු කිරීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ගාස්තු එකතු කිරීමේ කාර්යයයේ විනිවිදභාවය වැඩි කිරීම, මෙම මුලපිරීමේ අරමුණ වී ඇත.
මෙම හවුල්කාරීත්වය යටතේ NCG Express හි බස් රථවල කොන්දොස්තරවරුන්ට කොමර්ෂල් බැංකුවේ ගෙවීම් ලබාගැනීමේ විසඳුම් සමග ඒකාබද්ධ වූ ඩිජිටල් ටිකට්පත් නිකුත් කිරීමේ උපාංග ලබා දෙනු ලැබේ. මගියකු බස් රථයට ගොඩ වූ විට කොන්දොස්තර මහතා විසින් අදාළ ගාස්තුව උපාංගයට ඇතුළත් කරන අතර ඉන් පසුව මගියාට එම උපාංගයෙන් ලබා දෙන QR කේතය ස්කෑන් කර හර හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් හෝ ගූගල් පේ වැනි ජංගම මුදල් පසුම්බියක් හරහා අදාළ ගෙවීම කළ හැක. මෙම ගනුදෙනු සියල්ල ආරක්ෂිතව ක්ෂණිකව සකසන අතර ක්ෂණික තහවුරු කිරීමකින් බාධාවකින් තොරව එවෙලේම ගාස්තු එකතු කිරීම සහතික කරයි.
මගීන් සඳහා මෙම ඩිජිටල් ටිකට්පත් පද්ධතිය මගින් මුදල් රහිත ගෙවීම්වල පහසුව, නියමිත මාරු කාසි සමග මුදල් නෝට්ටු රැගෙන යාමේ අවශ්‍යතාව ඉවත් කිරීම සහ වේගවත් වූ Contactless ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු බහුවිධ වාසි රැසක් ලබා දෙයි. විනිවිද පෙනෙන ඩිජිටල් වාර්තා, ගෝලීය ප්‍රමිතිවලට අනුකූල වූ සුමට හා නවීන ගමනාගමන අත්දැකීමක් ලබා දෙන අතරම ප්‍රවේශපත්‍ර ක්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය වැඩි කිරීමට ද මෙම මුලපිරීම උපකාරී වනු ඇත.
මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සමාන්‍යාධිකාරී - පෞද්ගලික බැංකුකරණය/ පාරිභෝගික නිෂ්පාදන සංවර්ධනය කපිල ලියනගේ මහතා මෙසේ පැවසීය. “ඩිජිටල් ගෙවීම් නවෝත්පාදන ඉදිරියට ගෙන යාමට මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල්කරණ න්‍යාය පත්‍රයට සහාය දැක්වීමට, කොමර්ෂල් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම මෙම හවුල්කාරීත්වයෙන් පිළිබිඹු කරයි. මෙරට ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව ලෙස පොදු ප්‍රවාහන අංශයේ සේවක පිරිසට වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වීමට හැකි වන පරිදි මෙම ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය ප්‍රචලිත කිරීම, ඉතා තීරණාත්මක පියවරක් ලෙස බැංකුව සලකයි.”