• රු.10 ක වටිනාකමින් යුත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 500ක් නිකුත් කිරීමට අනුමැතිය

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ජනශක්ති ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීම සඳහා වන අනුමැතිය ලබා දුන් බව එම හුවමාරුව පවසයි. මෙහිදී එම සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් ප්‍රමාණයක් දායකත්වය සඳහා ඉදිරිපත් කිරීමක් (offer for subscription)) ලෙස සිදුකරන මූලික මහජන කොටස් නිකුතුවක් (IPO)  හරහා කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන පුවරුවේ හෝ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීමේ අවස්ථාව පවතී. 

ඒ අනුව ජනශක්ති ලිමිටඩ් සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 500,000,000ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, එක් කොටසක වටිනාකම රුපියල් 10ක් ලෙස කොටස්වල සමස්ත වටිනාකම රුපියල් බිලියන 5ක් (5,‍000,000,000) වෙයි. මෙම කොටස් මිලදී ගැනීම සඳහා ලබන අප්‍රේල් 09 වැනිදා විවෘත කෙරෙන බවත් කොළඹ කොටස් හුවමාරුව පවසයි.

ජනශක්ති සමූහය අද වන විට රක්ෂණ, ආයෝජන බැංකුකරණ සහ මූල්‍ය යන අංශ තුළ ව්‍යාප්තව පවතී. මේ යටතේ පවතින ජනශක්ති ලයිෆ් පීඑල්සී, ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් දැනටමත් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්ය. 2025-26 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුව සඳහා ජනශක්ති සමූහය රුපියල් බිලියන 3.2 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් විය.