• 2026 ජනවාරියේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 21.46 ක් 
  • උස් වගා බිම්, මැදි වගා බිම් තේ නිෂ්පාදනය සියයට 4.04 කින් සහ  සියයට 0.35 කින්  ඉහළට 
  • පහත් වගා බිම් සහ හරිත තේ නිෂ්පාදනය සියයට 7.32 කින් සහ  සියයට 1.24 කින් පහළට 
  • 2024 ට සාපේක්ෂව 11.59 ක නිෂ්පාදනයේ වර්ධනයක් 

භානුක අමරසිංහ
2026 වසරේ ජනවාරි මාසයේදී මෙරට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 20.68ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 ජනවාරි මාසයේදී වාර්තා වූ කිලෝ මිලියන 21.46 හා සැසඳීමේදී කිලෝ මිලියන 0.78 ක එනම් සියයට 3.63 ක අඩුවීමක් බව තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walker පවසයි. 
කෙසේ වෙතත් 2024 වසරේ ජනවාරි මාසයේදී වාර්තා කළ තේ කිලෝ මිලියන 18.53 හා සැසඳීමේදී මේ වසරේ ජනවාරි මාසයේදී තේ කිලෝ මිලියන 2.14 ක එනම් සියයට 11.59 ක නිෂ්පාදනයේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. 
මෙම වසරේ ජනවාරි මාසයේදී උස් වගාබිම් තේ නිෂ්පාදනය කිලෝ මිලියන 4.76ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 වාර්තා වූ කිලෝ මිලියන 4.57 හා සැසඳීමේදී සියයට 4.04 ක වර්ධනයකි. එසේම මැදි වගා බිම් තේ කිලෝ මිලියන 3.41ක් නිපදවා ඇති අතර, එය 2025 වාර්තා වූ කිලෝ මිලියන 3.39 හා සැසඳීමේදී සියයට 0.35ක වර්ධනයකි. 
කෙසේ වෙතත් පහත් වගා බිම් තේ නිෂ්පාදනය මේ වසරේ කිලෝ මිලියන 12.32ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 ජනවාරියේදී වාර්තා කළ කිලෝ මිලියන 13.30 හා සැසඳීමේදී සියයට 7.32ක පහත වැටීමකි. එසේම හරිත තේ නිෂ්පාදනයත් 2025 ජනවාරියේ පැවැති කිලෝ 191,206 සිට මේ වසරේ ජනවාරියේදී කිලෝ 188,838ක් දක්වා සියයට 1.24 කින් පහත වැටී තිබෙන බව Forbes & Walker  පවසයි.