ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට අවධානය


අංජුල මහික වීරරත්න


ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක්ද ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

මෙරට ඩිජිටල්කරණයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ආරම්භ කෙරුණු ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට බැංකු සහ මූල්‍ය ආයතන වෙත පැවරී ඇති වගකීම මෙහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා, එම ක්‍රමවේදය ජනතාවට වඩා පහසු සහ ආකර්ෂණීය ක්‍රමවේදයක් බවට පත් කර ගැනීමට මෙරට බැංකු පද්ධතියෙන් ලබාගත හැකි සහාය පිළිබඳවද සාකච්ඡා කළේය.

වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මතුවන බාධා ඉවත් කර ගනිමින් සමාජය තුළ එය වේගයෙන් ප්‍රචලිත කිරීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ, ATM යන්ත්‍ර මගින් මුදල් ගනුදෙනු කිරීමේ සේවාව ලබාදීමේදී බැංකු 
පද්ධතියට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත්, නව ක්‍රමවේදය මගින් ගනුදෙනු කිරීමේදී ඇතිවන පරිවර්තනයත් සමග එම පිරිවැය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවත්ය. 

එමෙන්ම, නව ක්‍රමවේදය මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ක්‍රමවේදයක් වනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරමින්, ලංකා බැංකුවේ වැඩබලන ප්‍රධාන කළමනාකරු, ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීමට ජනතාව දිරිගැන්වීමේ වැඩසටහන් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි. 

රජය ආරම්භ කළ මෙම නව වැඩපිළිවෙළට බැංකු පද්ධතියේ උපරිම සහාය ලබා දෙමින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යන ගමනට සිය දායකත්වය ලබා දෙන බවද ඒ මහතා සඳහන් කළේය.

ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද, මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, 
ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා, කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මූෂින්, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී සංජය ගුණවර්ධන, 
හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලේවත්ත යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන රැසක ප්‍රධානීහු සහ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.