
ලංකාව පුරා දහස් ගණනක් පාසල් දරුවන් සඳහා දෛනික ආහාර වේලක් යනු පෝෂණය පමණක් නොව, ඉගෙනීම, වර්ධනය සහ වඩාත් සුරක්ෂිත අනාගතයක් සඳහා වන මූලික පදනමකි.
මෙම පසුබිම මත ජාත්‍යන්තර සිංහ සමාජ පදනම (LCIF) විසින් පසුගියදා කොළඹ දී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින්, සිංහ සාමාජිකයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් හරහා රට පුරා ඇති කර තිබෙන බලපෑම සහ විශේෂයෙන් ලෝක ආහාර වැඩපිළිවෙළ (WFP) සමග ඇති සහයෝගීතාව ඉස්මතු කළේය.
ලෝක ආහාර වැඩපිළිවෙළ (WFP) සමග ඇති මෙම සහයෝගීතාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක ආහාර වැඩපිළිවෙළ (WFP USA) සහ LCIF අතර ඇමරිකානු ඩොලර් මිලියන 2ක හවුල් වැඩසටහනක කොටසක් වන අතර, එය ලංකාව සහ නේපාලය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන යටතේ ලංකාවේ ලෝක ආහාර වැඩපිළිවෙළ (WFP Sri Lanka) හට ඔවුන්ගේ “ගෙවත්තෙන් පන්තියට” වැඩසටහන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් ලැබී ඇත. එමගින් පාසැල් ආහාර සැපයුම්කරුවන් සහ ගොවීන් ශක්තිමත් කිරීමත්, ජාතික පාසැල් ආහාර වැඩපිළිවෙළ යටතේ පාසල් දරුවන් සඳහා ලබාදෙන ආහාරයේ පෝෂණ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමත් සිදු වේ.
තවද, දැනට Lions of Sri Lanka විසින් LCIF හි ඇමරිකානු ඩොලර් 400,000ක වටිනාකමකින් යුතු ‘Protect Child Nutrition’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින අතර, එමගින් ලංකාව පුරා දරුවන් 5,000කට ආසන්න සංඛ්‍යාවකට දෛනික පාසල් ආහාර ලබා දීම සිදු කරයි. වසර තුනක කාලයක් සඳහා සැලසුම් කළ මෙම වැඩසටහන, සමාජයට මුහුණ දීමේ හැකියාව වැඩිදියුණු කිරීම, අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ ළමා පෝෂණය නංවාලීම සඳහා වැදගත් වේ.
මෙම මාධ්‍ය හමුවේ දී, ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවයට විසඳුම් ලබාදීමට ඛක්‍ෂත් හි ගෝලීය ප්‍රදාන හරහා තිරසාර වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි ආකාරය ද පැහැදිලි කෙරිණි. එසේම, දේශීය සේවාව ගෝලීය හවුල්කාරිත්ව හරහා තවත් ශක්තිමත් වන ආකාරය ද අවධාරණය කෙරිණි.
මෙම මාධ්‍ය හමුවට LCIF සභාපති සහ හිටපු ජාත්‍යන්තර සභාපති ෆැබ්රිසියෝ ඔලිවේරා මහතා, ශ්‍රී ලංකාවේ ලෝක ආහාර වැඩපිළිවෙළ (WFP Sri Lanka) නියෝජිත සහ මෙරට අධ්‍යක්ෂ, එසේම හිටපු සිංහ ජාත්‍යන්තර සභාපති මහේන්ද්‍ර අමරසූරිය සහ LCIF භාරකරු මහේෂ් පැස්කුවල් යන මහත්වරු ඇතුළු සිංහ නායකයෝ සහභාගී වූහ.
මෙම අවස්ථාවේ දී අදහස් දැක්වූ LCIF සභාපති සහ හිටපු සිංහ ජාත්‍යන්තර සභාපති ෆැබ්රිසියෝ ඔලිවේරා මහතා, WFP සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් සිංහ සමාජය වර්තමාන පෝෂණ අවශ්‍යතා සපුරාලීම පමණක් නොව, ප්‍රජාවගේ දිගුකාලීන යහපැවැත්ම සඳහා ද ආයෝජනය කරනු ලබන අතර ලංකාව යනු දේශීය නායකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව එකට එක්වූ විට අර්ථවත් මෙන්ම දිගුකාලීන බලපෑමක් ඇති කළ හැකි බව පෙන්වන විශිෂ්ට උදාහරණයක් බවත් ප්‍රකාශ කර සිටියේය. කිසිදු දරුවකුට අනාගතයේ ආහාර අනාරක්ෂිතභාවයක් ඇති නොවීමේ අරමුණින් ඔවුන් එක්ව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
LCIF ආරම්භයේ සිට මේ දක්වා ලංකාව සඳහා ලබාදී ඇති ප්‍රදාන මුදල සම්පූර්ණයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 17කට ආසන්න වේ. Ditwah ආපදා ප්‍රතිසාධනය සඳහා ලබාදුන් ඇමරිකානු ඩොලර් 300,000ක විශේෂ ආපදා ප්‍රදානය ඇතුළු විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙම අරමුදල් මගින් ක්‍රියාත්මක කර ඇත.
LCIF ක්‍රියාකාරකම්වල විශේෂත්වයක් වන්නේ ලැබෙන සෑම ඩොලරයක්ම පරිපාලන වියදම් කිසිවක් අඩු නොකර සේවා ව්‍යාපෘති සඳහාම යොදවනු ලැබීමයි. මෙම ආකෘතිය හරහා සෑම පරිත්‍යාගයකම බලපෑම සහ ප්‍රවේශය වැඩි කරමින්, පරිත්‍යාගකරුවන්ගේ විශ්වාසය ද ශක්තිමත් කරයි. මෙම අවස්ථාවේ දී ඉස්මතු වූ වැදගත් කරුණක් වන්නේ, මෙම සේවා පුණ්‍ය කටයුතු පමණක් නොව, හවුල්කාරිත්වය සහ විශේෂඥ දැනුම මත පදනම් වූ සංවිධානාත්මක, ජාතික වැදගත්කමක් ඇති වැඩසටහන් දක්වා වර්ධනය වී ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd