• දැරිය හැකි මිල, ආයෝජන විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන බලශක්ති ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන්නැයි ඉල්ලයි

භානුක අමරසිංහ

ඉදිරිපත් කර ඇති ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත හරහා ප්‍රධාන ගැටලු‍ කිහිපයක් ප්‍රමාණවත් ලෙස විසඳා නොමැති බව කර්මාන්ත සංගම් රැසක් එක්ව අවධාරණය කර සිටියි. ඒ අනුව දැරිය හැකි මිල, කාබන් විමෝචනය ශුන්‍ය කිරීම සඳහා වන කැපවීම්, පුනර්ජනනීය බලශක්තිය සඳහා දිරිගැන්වීම්, තරගකාරිත්වය සහ බලශක්ති අංශයේ දිගුකාලීන මූල්‍යමය පැවැත්ම වැනි ප්‍රධාන කරුණු අතුරුදන් වී හෝ ප්‍රමාණවත් තරමින් අවධානයට ලක් කර නොමැති බව ඔවුහු සඳහන් කරති. 

මෙහිදී ඇමරිකානු වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය, පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනය, ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය, ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය සමඟ එක්ව මෙම කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව කෙටුම්පත් කර ඇති මෙම බලශක්ති ප්‍රතිපත්තියේ දක්වා ඇති යෝජිත තීරුබදු සංශෝධන, විශේෂයෙන්ම හරස් සහනාධාර ක්‍රමය ඉවත් කිරීම සහ මසකට 30 kwh ට අඩු පරිභෝජනය කරන නිවාස සඳහා පමණක් සහනාධාර සීමා කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මෙම සංගම් කනස්සල්ල මතු කර සිටින බව පවසයි.
“සවිස්තරාත්මක විශ්ලේෂණයකින් තොරව ගෙන තිබෙන මෙම පියවර නිසා තිරසාර හා දැරිය හැකි බලශක්තිය සඳහා ප්‍රවේශය දුර්වල කළ හැකියි. ඒ වගේම මූල්‍ය අවදානම්ද ඇති විය හැකියි.’

විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්දි රහිත විදුලි කප්පාදුව, එම බලශක්ති උත්පාදනය වෙනුවෙන් රජය ලබා දෙන ගාස්තු ඉවත් කිරීම සහ වහල මත සූර්ය බලශක්ති භාවිත කරන්නන් සඳහා අනිවාර්ය භාවිත කාල ගාස්තු පැනවීමට ඉඩ සලසන විධිවිධාන මඟින් ජාත්‍යන්තර ණය දෙන්නන්ට මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති බැංකුකරණය කළ නොහැකි විය හැකි බවත්, එමගින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන පිරිවැය වැඩි වන බවත් ඔවුහු පෙන්වා දෙති.

“මේ කාරණා සමගින් අපි අනාගතය කෙරෙහි අවධානය යොමු කරන ප්‍රවේශයක් ඉල්ලා සිටිනවා. පුනර්ජනනීය බලශක්තිය සඳහා වන බලශක්ති සංක්‍රාන්තිය, බලශක්ති ගබඩා කිරීම, වෙළෙඳපොළ තරගකාරිත්වය, දේශසීමා හරහා විදුලි වෙෙළඳාම සහ නැගී එන තාක්ෂණය ඇතුළුව නවීන විදුලි පද්ධති හා සම්බන්ධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව අවධාරණය කරනවා.“

ඒ අනුව ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත පුළුල් ලෙස සංශෝධනය, විදුලිබල පනත සමඟ පෙළගැස්වීම සහ සැලකිය යුතු උපදේශනයකින් පසු නැවත ඉදිරිපත් කිරීම කළ යුතු බව මෙම කර්මාන්ත සංගම් එකමුතුවේ අදහස වී තිබේ. 

එහිදී දැරිය හැකි මිල, ආයෝජන විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන බලශක්ති ආරක්ෂාව සඳහා සහාය වන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් සමග ඵලදායී ලෙස සම්බන්ධ වීමට සහාය වීම නැවත අවධාරණය කරන ලෙස වාණිජ මණ්ඩල සහ සංගම් ඉල්ලා සිටින බවත් පවසයි.