• මුදල් හෝ භෞතික කාඩ්පත් රැගෙන යාමේ අවශ්‍යතාව අවම කරමින්, පාරිභෝගිකයන්ටත් වෙළෙඳ ව්‍යාපාරිකයන්ටත් වඩාත් කාර්යක්ෂම ගෙවීම් අත්දැකීමක්

ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් NSB Pay ජංගම යෙදුම හරහා ‘Tap & Pay’ සම්බන්ධතා රහිත ගෙවීම් සේවාව සාර්ථකව හඳුන්වා දී ඇති අතර, ඒ සමග ශ්‍රී ලංකාවේ පළමු In-App Contactless  ගෙවීම් පහසුකමද  හඳුන්වා දුන් බැංකුව බවට NSB  පත්ව ඇත. මෙම නවීන සේවාව ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකු ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙමින්, NSB හි දිගුකාලීන ඩිජිටල් පරිවර්තන වැඩසටහනට හා රටේ ඩිජිටල් අනාගතයට ශක්තිමත් දායකත්වයක් සපයයි.

මෙම පහසුකම හරහා NSBPay භාවිත කරන්නන්ට රට පුරා පවතින සම්බන්ධතා රහිත ගෙවීම් හැකියාව ඇති වෙළෙඳ මධ්‍යස්ථානවලදී, ජංගම දුරකථනය සරලව ස්පර්ෂ කිරීමෙන් (Tap & Pay) කඩිනම්, පහසු සහ ආරක්ෂිත ගෙවීම් සිදු කළ හැකිය. එමගින් මුදල් හෝ භෞතික කාඩ්පත් රැගෙන යාමේ අවශ්‍යතාව අවම කරමින්, පාරිභෝගිකයන්ටත් වෙළෙඳ ව්‍යාපාරිකයන්ටත් වඩාත් කාර්යක්ෂම ගෙවීම් අත්දැකීමක් ලබා දේ.

Tap & Pay සේවාව Mastercard Digital Enablement Services (MDES) මත පදනම් වී ක්‍රියාත්මක වන අතර, එය Tokenization නම් නවීන ආරක්ෂණ තාක්ෂණය භාවිත කරයි. Tokenization මගින් පාරිභෝගිකයාගේ සංවේදී කාඞ්පත් තොරතුරු වෙනුවට ආරක්ෂිත ඩිජිටල් ටෝකන භාවිත කරමින්, ගෙවීම් අතරතුර සැබෑ ගිණුම් තොරතුරු කිසිවිටෙකත් හෙළි නොවීම සහතික කරයි. මෙම ක්‍රමවේදය, ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව, විශ්වාසදායක ඩිජිටල් ගෙවීම් පරිසරයක් නිර්මාණය කරයි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා NSB විසින් Entrust සහ Data Management System (Pvt) Ltd යන ප්‍රමුඛ තාක්ෂණික සේවා සපයන්නන් සමග එක්ව Tokenization පහසුකම් සකස් කර ඇති අතර, බැංකුවේ Fintech සහකරු වන PayMedia විසින් NSBPay යෙදුමට අවශ්‍ය තාක්ෂණික වැඩිදියුණු කිරීම් සිදු කර ඇත.

ශ්‍රී ලංකාව වැනි රටක් සඳහා, මුදල් රහිත ගනුදෙනු ප්‍රවර්ධනය  කිරීම, ඩිජිටල් ගෙවීම් පුළුල් කිරීම සහ ආරක්ෂිත මූල්‍ය පද්ධතියක් ගොඩනැගීම ජාතික ප්‍රමුඛතාවක් වේ. NSBPay Tap & Pay  සේවාව, මුදල් භාවිතය අවම කරමින්, ගනුදෙනු වේගය වැඩි කරමින් සහ විශ්වාසදායක ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කරමින්, රටේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමට සෘජු දායකත්වයක් සපයයි. එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහාද කඩිනම්  සහ පහසු හා සරල ගෙවීම් ක්‍රමවේදයක් ලබා දේ.

වසර දෙසීයකට ආසන්න දිගු ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉතිරිකිරීමේ බැංකුව ලෙස, NSB විසින් සමාජයේ සියලු‍ ස්ථරයන්ට ඩිජිටල් බැංකු සේවා ළඟා කරවීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමේ දැඩි කැපවීමකින් කටයුතු කරයි. Tap & Pay සේවාව හඳුන්වා දීම, නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල පාරිභෝගිකයන්ට එකසේ ඩිජිටල් පහසුකම් ලබා දීමේ NSB අරමුණ තවත් පියවරකින් ඉදිරියට ගෙන යයි.