ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් මෙවරත් සිංහල හා දමිළ අලු‍ත් අවුරුද්ද නිමිති කරගෙන, ජනතාව අතර ඉතිරිකිරීමේ සංස්කෘතියක් සහ පරිසර හිතකාමී ජීවිත රටාවක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලබයි.
2026 අප්‍රේල් 15 දිනට යෙදෙන සුබ නැකතට ගනුදෙනු සිදුකරන ගනුදෙනුකරුවන්ට “කෘෂි ආර්ථික වටිනාකමකින් යුත් පැළයක්” ලබාදීම ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන සම්ප්‍රදායකි. මෙම සම්ප්‍රදාය ඉතිරිකිරීම, සම්පත් සුරැකීම සහ පරිසර ආරක්ෂාව යන මූලික සංකල්පවල සංයෝගයක් ලෙස හඳුන්වා දිය හැකි වේ.
“නැකතට පැළයක්” යන සංකල්පය හරහා, අනාගතය සඳහා ඉතිරි කිරීමත්, පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා රුක් රෝපණය කිරීමත් යන දෙකම එක සේ වැදගත් බව බැංකුව අවධාරණය කරයි. මෙය සරල ත්‍යාගයක් නොව, ජනතාව තුළ තිරසාර ජීවන රටාවක් ගොඩනැගීමට උත්සාහ කරන සමාජමය වගකීමක් පෙරදැරි කරගත් වැඩසටහනකි.
ජාතික ඉතිරිකිරීමේ NSB කෘෂි වනවගා ව්‍යාපෘතිය (Agro Forestry) බලගැන්වෙන මෙම මුලපිරීම, ජනතාව පරිසරය සුරැකීමට සහ වගා කටයුතු සඳහාත් ජනතාව දිරිගන්වන ජාතික මට්ටමේ දීර්ඝකාලීන වැඩසටහනකි. වර්තමානයේදී මිනිසා මුහුණපා තිබෙන පාරිසරික අභියෝග සැලකිල්ලට ගත් විට, මෙවැනි සංකල්පවල වැදගත්කම වඩාත් ඉහළ ගොස් ඇත. ඒ නිසාම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අඛණ්ඩව මෙම ජාතික කර්තව්‍යයට උරදීමට කටයුතු කර තිබේ. 
එසේම, සාම්ප්‍රදානුකූලව එදින බැංකුව සමග ගනුදෙනු කරන අපගේ ගනුදෙනුකාර භවතුන්ට රුපියල් 10 කාසි පිරිනැමීමද සිදුකෙරෙන අතර, එමගින් නව වසරට වාසනාවන්ත ආරම්භයක් සහ සමෘද්ධිමත් අනාගතයක් සංකේතවත් කරන බව සැලකේ. මෙහිදී, අලු‍ත් අවුරුදු ගනුදෙනු සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග ලබා දීමට කටයුතු යොදා ඇත. රු. 100/- සිට රු. 999/- දක්වා මුදල් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට රුපියල් 10 කාසියක් ලබා දෙන අතර රු. 1,000/- හා එයට ඉහළ වටිනාකමක් සහිත තැන්පතු සඳහා රුපියල් 100 නෝට්ටුවක් පිරිනැමේ.
එසේම, මෙරට ජනතාව අතර ප්‍රචලිත ආයුර්වේද ලිත මෙවරත් සියලු‍ම ශාඛා මගින් නොමිලේ ලබා දෙන අතර, එය සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ලබාගත හැකි වේ. මෙම ලිත නව අවුරුදු චාරිත්‍ර, සුබ වේලාවන් සහ, සම්ප්‍රදායික ජීවන රටාවක් සඳහා අදාළ උපදෙස් සහිත ජනතාවට වැදගත් මාර්ගෝපදේශයකි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුව මෙවරත් අලු‍ත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් සමග, “අනාගතය සඳහා ඉතිරි කරන්න - පරිසරයද සුරකින්න” යන පණිවිඩය ජනතාව වෙත ගෙන යාමට අපේක්ෂා කරයි. අප්‍රේල් 23 වැනි දින පෙ.ව. 09.01ට යෙදෙන සුබ මොහොතින්, මෙවර ඔබගේ ගනුදෙනුවෙන් හිමිවන “නැකතට පැළයක්” රෝපණය කිරීමට අපි ඔබට ආරාධනා කරමු.