- චීන SOE මගින් මේ වනවිට රට තුළ ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ආයෝජන ව්‍යාපෘති සංඛ්‍යාව 8 ක්
- දැවැන්ත චීන SOE හයක් අතර මෙම ව්‍යාපෘති බෙදී ගිහින්
- මෙම ආයෝජන වරාය, කාර්මික කලාප, නිශ්චල දේපළ සහ ඉදිකිරීම් ලෙස කාණ්ඩ 4 ක් යටතේ සිදු කරලා
භානුක අමරසිංහ
චීන රජයේ හිමිකාරීත්වය සහිත ව්‍යවසාය (SOE) මගින් වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති අටක් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, තවත් ව්‍යාපෘති රැසක් සඳහා මූල්‍යමය දායකත්වය ලබා දී තිබෙන බවත් අරුත පර්‌යේෂණ ආයතනය සඳහන් කරයි.
එම ආයතනය පසුගියදා නිකුත් කළ Chinese Soes in Sri Lanka – Understanding how they operate, adapt and compete overseas නම් වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
“මෙම අධ්‍යනයේදී චීන SOE ශ්‍රී ලංකාවේ නීතිමය, නියාමන සහ දේශපාලනික පරිසරය තුළ ගමන් කරන ආකාරය, කාලයත් සමග ඔවුන්ගේ මෙහෙයුම් වෙනස් වී ඇති ආකාරය සහ ඔවුන්ගේ විදේශීය කටයුතුවල විකාසනය වන ස්වභාවය ගවේෂණය කර තිබෙනවා.” එම වාර්තාව පවසයි.
ඒ අනුව ඇතැම් චීන SOE මගින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කර ඇති සිය ශාඛා දකුණු ආසියාව තුළ කටයුතු කළමනාකරණයට යොදා ගැනීමක්ද නිරීක්ෂණය වන බවත් ඔවුහු පෙන්වා දෙති.
“අද වනවිට මෙම චීන රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් මෙරට තුළ හුදෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පමණක් නොව සිය කටයුතු දිගුකාලීනව කළමනාකරණයට යොදාගත හැකි කලාපීය මධ්‍යස්ථානයක් බවටත් ශ්‍රී ලංකාව පත් කරගෙන තිබෙනවා.”
විශේෂයෙන්ම 2000 වසරේ සිට චීනය සහ ශ්‍රී ලංකාව අතර මෙම ආර්ථික සබඳතා ඉතාමත් ශක්තිමත් ලෙස වර්ධනය වීමක් සිදුවුණු බව පවසන එම ආයතනය, 2013දී චීනය ඉදිරිපත් කළ BRI (තීරයක් සහ මාවතක් වැඩසටහන) හරහා එය වඩාත් වේගවත් වී තිබෙන බවත් පවසයි.
මෙලෙස චීනයේ SOE මගින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ප්‍රධානතම යටිතල පහසුකම් ව්‍යාපෘති අතර නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටස, පිටත වටරවුම් අධිවේගී මාර්ගය 3 වැනි අදියර, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ දුම්රිය මාර්ගයේ දිගුව, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව සහ හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පවතී.
මේ අතරින් නොරොච්චෝලේ විදුලි බලාගාර ව්‍යාපෘතිය, චයිනා මැෂිනරි ඉන්ජිනියරින්ග් කෝපරේෂන් මගින් ක්‍රියාත්මක කරන අතර එහි ආයෝජනය ඩොලර් මිලියන 1,344 කි. මධ්‍යම අධිවේගී මාර්ගය පළමු කොටස සහ පිටත වටරවුම් පාර අධිවේගී මාර්ගය අදියර 3 යන ව්‍යාපෘති මෙටාලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම මගින් සිදුකරන අතර ඒ සඳහා වන ආයෝජන පිළිවෙළින් ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් මිලියන 494 කි.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයත් මෙටාලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම මගින් සිදු කරන අතර එහි ආයෝජනය ඩොලර් මිලියන 248 කි.
දක්ෂිණ දුම්රිය මාර්ගයේ දිගුව චීන දුම්රිය සමාගමේ අංක 05 ඉංජිනේරු සමූහය මගින් සිදු කරයි. එහි ආයෝජනය ඩොලර් මිලියන 283 කි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව චයිනා ස්ටේට් ඉන්ජිනියරින්ග් කෝපරේෂන් ඇන්ඩ් චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කම්පැනි මගින් සිදු කරන අතර ආයෝජනය ඩොලර් මිලියන 1,581 කි.
හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කම්පැනි මගින් සිදු කරන අතර ආයෝජන පිළිවෙළින් ඩොලර් මිලියන 1,206 ක් සහ 191 කි.
“ඒ අනුව අද වනවිට මෙරට තුළ ක්‍රියාත්මකව පවතින දැවැන්ත චීන SOE හය අතර චයිනා හාබර් ඉන්ජිනියරින්ග් කම්පැනි (CHEC), චයිනා ස්ටේට් කන්ස්ට්‍රක්ෂන් ඉන්ජිනියරින්ග් කෝපරේෂන් (CSCEC), චයිනා මෙටාලර්ජිකල් ගෘප් කෝපරේෂන් (CMGC), සයිනොහයිඩ්‍රෝ කෝපරේෂන්, චයිනා මැෂිනරි ඉන්ජිනියරින්ග් කෝපරේෂන් (CMEC) සහ චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩිංග්ස් (CMPort) යන සමාගම් පවතිනවා.” වාර්තාව පවසයි.
කෙසේ වෙතත් කාලයත් සමගින්ම චීන SOE සැපයුම්කරුවන්ගේ සහ කොන්ත්‍රාත්කරුවන්ගේ තත්වයේ සිට දිගුකාලීන ආයෝජකයන් සහ අතිශය වැදගත් යටිතල පහසුකම් මෙහෙයුම්කරුවන් බවට පත්වෙමින් තිබෙන බවත් මෙම වාර්තාව සඳහන් කරයි.
“2010 දශකයේ සිට චීන SOE ආයෝජකයන් බවට පත්ව තිබෙනවා. කොළඹ දකුණ පර්යන්තය සහ කොළඹ වරාය නගරය ඊට හොඳම නිදසුන් දෙකක්. ඒ වගේම ඇස්ටෝරියා මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සහ හම්බන්තොට වරාය කල්බදු එකඟතාවත් ඒ හා සමාන අවස්ථා. මෙම ව්‍යාපෘති අතරින් බොහෝමයක් සඳහා එම චීන SOE වෙත අරමුදල් සැපයුවේ චීන සංවර්ධන බැංකුව (CDB) හරහායි.”
මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආර්ථික අංශ තුළ ප්‍රධාන චීන ීSOE සමාගම් සිදුකර ඇති ආයෝජන වරාය, කාර්මික කලාප, නිශ්චල දේපළ සහ ඉදිකිරීම් ලෙස වෙන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම පරිණාමය අනාගත අවස්ථා බිහිකිරීම මෙන්ම අවදානම් ද මතු කර තිබෙන බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
“එය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් මූල්‍ය සහ තාක්ෂණික විශේෂඥතාව සඳහා ප්‍රවේශය වැඩිදියුණු කරන අතරම, දේශීය සංවර්ධන ඉලක්ක සමග සැමවිටම නොගැලපෙන විදේශීය වාණිජ ක්‍රියාකාරීන් මත යැපීම ද වැඩි කරයි.” මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd