ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් අපනයන දත්ත විශ්ලේෂණය කිරීමේදී 2026 පෙබරවාරි මාසයට අදාළව ඇඟලු‍ම් අපනයනවල සැලකිය යුතු පසුබෑමක් දක්නට ඇත. මෙම තත්වය සඳහා ලොව ප්‍රධාන පෙළේ වෙළෙඳපොළවල වර්ධනය වන පීඩනය මෙම පසුබෑමෙන් පිළිබිඹු වේ. පෙබරවාරි මාසයට අදාළ මුළු අපනයන වටිනාකම වාර්ෂික පදනම යටතේ සලකා බලන විට සියයට 11.46ක පසුබෑමක් සමග ඇමරිකානු ඩොලර් මිලියන 361.2ක් ලෙස වාර්තා වේ. 
 යුරෝපා සංගමයට සිදු කළ අපනයනවල පසුබෑම සියයට -19.48කින් සහ ඇමරිකා එක්සත් ජනපදය සඳහා සිදු කරන අපනයන සියයට -3.53කින් ද එක්සත් රාජධානියට කරන අපනයන -5.67කින් සහ අනෙකුත් රටවලට සිදු කරන අපනයන සියයට -18.54කින් අඩු වී ඇති බව දත්ත මගින් හෙළිවෙයි. 
මෙම ප්‍රවණතාව වසරේ මුල් මාස දෙක සඳහා වූ සමස්ත ක්‍රියාකාරිත්වය තුළද දිගහැරෙමින්, 2025 වර්ෂයේ මෙම කාල සීමාව සමග සසඳන විට සමස්ත අපනයන සියයට 6.91 කින් පහළ යාමක් පෙන්නුම් කරයි. මේ අතර එක්සත් ජනපද සහ එක්සත් රාජධානියට අදාළ වෙළෙඳපොළවලට අදාළ අපනයනවල අඩු වීම යම් අවම අගයක පැවතියද , ඉල්ලු‍මේ වර්ධනය අඩු වීම සහ තරගකාරීත්ව පීඩනය යන හේතු මත යුරෝපා සංගමය සහ අනෙකුත් කලාපයන් හි අපනයනවල අඩු වීම වඩාත් තීව්‍ර වශයෙන් පෙන්නුම් කරයි. 
වඩාත් තරගකාරී මෙහෙයුම් පරිසරයක මෙරට ඇඟලු‍ම් ක්ෂේත්‍රය කටයුතු කරමින් සිටින බව මෙම දත්ත මගින් මනාව පෙන්නුම් කරන අතර බාහිර බලපෑම් මත සිදු වූ පිරිවැය ව්‍යුහයේ ඇති වූ පීඩනය සහ වර්ධනය වෙමින් පවතින ගෝලීය මූලාශ්‍රවල විචලනයන් මේ තත්වයට හේතු වී ඇත. පවතින මෙම තත්වය මත තරගකාරීත්වය පවත්වාගෙන යෑම හුදෙක්ම වෙළෙඳපොළ තත්වය මත පමණක් නොව, කර්මාන්තය සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පිරිවැය, නැව් භාණ්ඩ ප්‍රවාහනය, සහ වෙළෙඳපොළට අවතීර්ණ වීම යන ක්ෂේත්‍රවලට අදාළව පැනනැගී ඇති ගැටලු‍ වලට කොපමණ ඵලදායීතාවකින් මුහුණ දෙනවාද යන කරුණ මත රඳා පවතිනු ඇත.
ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය මේ පිළිබඳව අදහස් දක්වමින් “ඇඟලු‍ම් අපනයනයන්ට අදාව පෙන්නුම් කරන පසුබෑම ගෝලීය ඉල්ලු‍ම අඩු වීම සහ තරගකාරීත්ව පීඩනය මත ඇති ව තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. මේ තත්වයට අදාළ ප්‍රධානතම හේතුව බාහිර සාධක වූවද මේ හරහා දේශීය ඇති විය හැකි ගැටලු‍වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්විය යුතු බව අපි අවධාරණය කරනවා. තවදුරටත් ගෝලීය ඇඟලු‍ම් සැපයුම් දාමයෙහි ශ්‍රී ලාංකීය ස්ථානය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට නම් නැව් භාණ්ඩ හැසිරවීම කාර්යක්ෂම කිරීම, පිරිවැය තරගකාරීත්වය සහතික කිරීම, සහ වෙළෙඳපොළ ප්‍රවේශය ශක්තිමත් කිරීම යන කරුණු මේ අවස්ථාවේ ඉතා ඉක්මනින් ඉටු විය යුතු ප්‍රමුඛතා ලෙස අපි අවධාරණය කරනවා” යනුවෙන් පැවසීය.