නිමල කොඩිතුවක්කු


ගාල්ල කොටුවේ පවතින පැරණි උසාවි සංකීර්ණ ගොඩනැගිලි සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ගාල්ල කොටුව නැරඹීම සඳහා සහ තම විවේකී කාලය එහි ගත කිරීම සඳහා වසරකට ලක්ෂ 03කට අධික දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් එම ස්ථානය වෙත පැමිණෙති. එහෙත්, පරිපාලන/ ආයතනික කටයුතු සඳහා යොදා ගැනෙන ගොඩනැගිලි බහුලව පවතින ගාල්ල කොටුවේ ඇතැම් මාර්ග දිවා කාලයේදී රථවාහන තදබදයෙන් යුක්ත වීම සහ රාත්‍රී කාලයේදී හුදෙකලා බවට පත්වීම හේතුවෙන් සංචාරකයන්ට එම ප්‍රදේශය භාවිත කිරීමේදී විවිධ බාධාවලට මුහුණ පෑමට සිදුවී ඇත. මහ ගාල්ල සංවර්ධන සැලැස්ම (2021-2030) යටතේ ගාලු‍ කොටුව ලෝක උරුම සංචාරක කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
එසේම, ගාල්ල කොටුවේ පවතින පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිලි සංරක්ෂණය කරමින් සංචාරක භාවිතයට යොදා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ‘ගාල්ල පුනර්ජීවන ව්‍යාපෘතිය ලෙස ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති වැඩසටහනක්’ සැලසුම් කර ඇත. එම වැඩසටහන යටතේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකර ඇති නව අධිකරණ සංකීර්ණය තුළ දැනට ගාලු‍ කොටුවේ පවත්වාගෙන යනු ලබන මහාධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය ස්ථාපිත කර, එම ගොඩනැගිලි රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.