TEU 15,113ක විශිෂ්ට මෙහෙයුමක් වාර්තා කරලා


පැයකට බහාලු‍ම් මෙහෙයුම් 200 ඉක්මවූ සමස්ත නෞකා මෙහෙයුම් අනුපාතයක්


කොළඹ ජාත්‍යන්තර බහාලු‍ම් පර්යන්තය (CICT), පසුගියදා එහි පැමිණි ‘MSC ඉන්ගි’ (MSC INGY)  නෞකාව සාර්ථකව හසුරුවා, බහාලු‍ම් 10,407ක සංචලනය, එනම් TEU 15,113ක විශිෂ්ට මෙහෙයුමක් වාර්තා කළේය. මෙතෙක් CICT  විසින් එක් නෞකාවකින් හසුරුවා ඇති ඉහළම බහාලු‍ම් පරිමාව වන මෙම ජයග්‍රහණය පර්යන්තයේ නව මෙහෙයුම් සන්ධිස්ථානයක් බවට පත්ව ඇත.

මෙඩිටරේනියන් ශිපින් සමාගම (MSC) මෙහෙයවන ‘MSC ඉන්ගි’ නෞකාව, කොළඹ වරායට පැමිණෙන දැවැන්ත බහාලු‍ම් නෞකාවලින් එකක් වන අතර, එහි කාර්යක්ෂම හැසිරවීම, අති විශාල බහාලු‍ම් යාත්‍රා  (ULCV) මෙහෙයුම් සඳහා CICT හට ඇති හැකියාව මෙන්ම ඉහළ යමින් පවතින බහාලු‍ම් බඩු පරිමාවද තහවුරු කරයි. 

මෙම මෙහෙයුමේදී පැයකට බහාලු‍ම් මෙහෙයුම් 200 ඉක්මවූ සමස්ත නෞකා මෙහෙයුම් අනුපාතයක් සහ පැයකට එක් දොඹකරයකින් මෙහෙයුම් 30 ඉක්මවූ සමස්ත දොඹකර මෙහෙයුම් අනුපාතයක් CICT විසින් වාර්තා කළේය. මෙම වාර්තාව, ක්‍රියාවලිය පිටුපස පැවති වේගය, සංවිධානාත්මකභාවය සහ නිපුණත්වය තවදුරටත් සනාථ කරයි. 

“මෙම සන්ධිස්ථානය වෙත සාර්ථකව පිවිසීම, අපගේ ශක්තිමත් මෙහෙයුම් ක්‍රියාකාරීත්වය සහ අති විශාල බහාලු‍ම් නෞකා (ULCVs) උපරිම කාර්යක්ෂමතාවෙන් හැසිරවීම සඳහා අප සතු හැකියාව මනාව පිළිබිඹු කරනවා,” යි CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැන් ෂැන්ග් මහතා  පවසයි. ‘’CICT සමාගම අපගේ ගෝලීය නාවික හවුල්කරුවන්ට විශ්වාසනීය සහ ඉහළ ක්‍රියාකරීත්වයෙන් යුත් පර්යන්ත සේවා අඛණ්ඩව ලබාදීමට කැපව සිටිනවා යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් විසින් මෙහෙයවනු ලබන කොළඹ ජාත්‍යන්තර බහාලු‍ම් පර්යන්තය, අංගන ප්‍රශස්තිකරණය, යන්ත්‍රෝපකරණ, සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම් සඳහා ආයෝජනය කිරීමෙන් තම ප්‍රවීණත්වය නිරතුරුව ඉහළ නංවමින් සිටී.