ශ්‍රී ලංකාවේ වානේ ගොඩනැඟිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය හා කර්මාන්ත පාදක පර් යේෂණ ශක්තිමත් කිරීමේ අරමුණින්  Sterling Steels Limited ආයතනය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව අතර නව සහයෝගීතාවක් සඳහා වන අවබෝධතා ගිවිසුමකට  (MoU) පසුගියදා අත්සන් තැබිණි.

 මෙම හවුල්කාරිත්වය හරහා නවෝත්පාදනය, දැනුම හුවමාරු කර ගැනීම සහ ක්ෂේත්‍රයේ පවතින සැබෑ අභියෝග ජය ගැනීම සඳහා ශාස්ත්‍රීය පර් යේෂණ  ප්‍රායෝගිකව යොදා ගැනීමට ඇති උත්සාහය තහවුරු කෙරේ.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ, මොරටුව විශ්වවිද්‍යාලය විසින් ව්‍යවහාරික පර් යේෂණ  මෙහෙයවනු ලබන අතර, Sterling Steels ආයතනය විසින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික විශේෂඥතාව, ක්ෂේත්‍ර අත්දැකීම් මෙන්ම පර් යේෂණ  සහ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් හා ද්‍රව්‍යමය දායකත්වය ලබා දෙනු ඇත. මෙම සහයෝගීතාව මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අධ්‍යනාංශ ප්‍රධානී මහාචාර්ය උදේනි නවගමුව මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන අතර, Sterling Steels  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කේමන්ත පෙරේරා මහතා නියෝජනය කරයි. පර් යේෂණ කටයුතු පිළිබඳ අධීක්ෂණය සිවිල් ඉංජිනේරු අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එච්. එම්. එස්. ටී. හේරත් මහතා විසින් සිදු කරනු ලබයි.

උපාධි හා පශ්චාත් උපාධි සිසුන්ට කර්මාන්තයට අදාළ පර් යේෂණ අත්දැකීම් ලබා දීමටත්, ශාස්ත්‍රීය උපදේශකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර සබඳතාව ශක්තිමත් කිරීමටත් මෙම සහයෝගීතාවෙන් අවස්ථාව සැලසේ. එමෙන්ම විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය හා තාක්ෂණික ප්‍රවීණත්වය උපයෝගී කරගනිමින් Sterling Steels ආයතනයේ නවෝත්පාදන හැකියාව පුළුල් කිරීමත්, ඒකාබද්ධ ව්‍යාපෘති හා පර් යේෂණ  ප්‍රකාශන හරහා මෙරට ඉදිකිරීම් සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දිගුකාලීන දියුණුවට දායක වීමත් මෙහි මූලික ඉලක්කයකි.