• අපනයනය වැඩි කිරීමට නම් අනිවාර්යයෙන්ම දැනට ලංකාවේ පවත්වාගෙන යනු ලබන කුරුඳු වාඩි සංස්කෘතියෙන් ඉවත්වී ඒවා කුරුඳු කර්මාන්ත ශාලා බවට පරිවර්තනය විය යුතුයි

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් 
එල්.එම්.ජේ.කේ.ලින්දර

කුරුඳු අපනයනය කිරීමෙන් පසු ගිය වසරේ (2025) රුපියල් කෝටි අටදහසක ආදායමක් ලැබු බව කරන්දෙණියේ පිහිටි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

පසුගිය වසරේ වසරේ (2025) කුරුඳු අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන දෙසීය හැටක් ලැබුණු බවත් එය රුපියල් කෝටි අටදහසක ඉහළ අගයක් බවද කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් එල්.එම්.ජේ.කේ.ලින්දර මහතා කීවේය.

කුරුඳු අපනයනය කිරීමෙන් මේ වසරේදී සමස්තයක් වශයෙන් පෙර වසරවලට වඩා වැඩි ආදායමක් ලැබූ බවත් මෙය කුරුඳු අපනයනයේ උපරිමය නොවන බවත් මීටත් එහාට ගිය අපනයන ආදායමක් කුරුඳුවලින් ලබාගත හැකි බවත් ලින්දර මහතා කීවේය.

කුරුඳු අපනයනය වැඩි කිරීමට නම් අනිවාර්යයෙන්ම දැනට ලංකාවේ පවත්වාගෙන යනු ලබන කුරුඳු වාඩි සංස්කෘතියෙන් ඉවත්වී ඒවා කුරුඳු කර්මාන්ත ශාලා බවට පරිවර්තනය විය යුතු බවත් ලින්දර මහතා කීය.

එමෙන්ම මෙරට කුරුඳු අපනයනය වැඩි කිරීමට නම් අනිවාර්යයෙන්ම දැනට සම්පදායික ලෙස කුරුඳු අපනයනය කරන රටවල්වලට අමතරව අලු‍තින් රටවල් හඳුනාගෙන එම රටවල්වලටද කුරුඳු අපනයනය කළ යුතු බවත් ඒ සඳහා සිය දෙපාර්තමේන්තුව මැදිහත් වෙමින් පවතින බවද ලින්දර මහතා කීවේය.

මේ වනවිට මේ රටේ කුරුඳු කර්මාන්තය සම්ප්‍රදායෙන් මිදී නව දිසානතියකට ගෙන වැඩපිළිවෙළවල් රැසක්ම දියත් කර ඇති බවත් ඒ තුළින් කුරුඳු නිෂ්පාදනය වැඩි කළ හැකි බවත් ලින්දර මහතා මෙහිදී වැඩි දුරටත් කීවේය.