2029 අවසන් වන විට ප්‍රාග්ධනයේ අවම ශේෂය රු. බිලියන 20ක් විය යුතුයි
ප්‍රධාන කොටස් හිමිකරුවන් සතු කොටස් හිමිකාරීත්වය සියයට 15කට අඩුවිය යුතුයි
භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත, මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කාර්ගිල්ස් බැංකුව මගින් පවත්වාගෙන යා යුතු ප්‍රාග්ධන වර්ධනය සහ එහි කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පසුගියදා දැනුම්දීමක් සිදු කළ බව පවසයි.
ඒ අනුව මහ බැංකුව විසින් අදාළ තත්ව පවත්වාගෙන යා යුතු කාල රාමුවක් පිළිබඳව මෙහිදී කරුණු සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම කාර්ගිල්ස් බැංකුව අදාළ කාලසීමා තුළදී අතරමැදි ප්‍රාග්ධන ඉලක්ක සම්පූර්ණ කළ යුතුව තිබෙන බවත්, එහි ප්‍රධාන කොටස් හිමිකරුවන් දෙදෙනා වන කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සහ CT Holdings PLC යන සමාගම් සතු කොටස් හිමිකාරීත්වය සීමා කළ යුතු බවත් පවසා තිබේ.
ඒ අනුව 2027 මාර්තු 31 වැනිදා වනවිට කාර්ගිල්ස් බැංකුව සිය මුළු ප්‍රාග්ධනයේ අවම ශේෂය ලෙස රුපියල් බිලියන 16ක් පවත්වාගෙන යා යුතු බවත්, ප්‍රධාන කොටස් හිමිකරුවන්ගේ කොටස් හිමිකාරීත්වය සියයට 45ක් බවට පත් කළ යුතු බවත් මහ බැංකුව පවසා සිටියි.
එසේම 2028 මාර්තු 31 වැනිදා වනවිට මුළු ප්‍රාග්ධනයේ අවම ශේෂය රුපියල් බිලියන 17.5ක් දක්වාත්, කොටස් හිමිකාරීත්වය සියයට 35ක් දක්වාත් මට්ටමට ගෙන ආ යුතුය. 2029 මාර්තු 31 වැනිදා වනවිට මෙය රුපියල් බිලියන 19ක් සහ සියයට 25ක් තත්වයට පත් කළ යුතුව ඇත.
අවසන් වශයෙන් 2029 දෙසැම්බර් 31 වැනිදා වනවිට මුළු ප්‍රාග්ධනයේ අවම ශේෂය රුපියල් බිලියන 20ක් දක්වා වර්ධනය කරගත යුතු අතර, කොටස් හිමිකාරීත්වය සියයට 15ක් දක්වා අඩු කළ යුතුය.
මේ අතර අදාළ ප්‍රාග්ධන වර්ධන ඉලක්කය සඳහා කාර්ගිල්ස් බැංකුව දැනටමත් රුපියල් බිලියන 2.5 ක හිමිකම් නිකුතුවක් යෝජනා කර තිබෙන බවත්, 2026 මාර්තු 31 වැනිදා වනවිට ප්‍රධාන කොටස් හිමිකරුවන් සතු කොටස් හිමිකාරීත්වය සියයට 50ක් දක්වා අඩු කිරීමට කටයුතු කරන බවත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd