කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහ 
සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ අෂානි සේනාරත්න මහත්මිය කොමර්ෂල් බැංකුව වෙනුවෙන් සුපර්බ්‍රෑන්ඩ් සම්මානය පිළිගත් අවස්ථාව.


සියවසකට අධික කාලයක නායකත්වය සහ මිලියන ගණනකගේ නොසැලෙන විශ්වාසය යළිත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව Superbrand සම්මානය ලබා ඇත. තම ගනුදෙනුකරුවන්ට, කොටස් හිමියන්ට සහ මෙරට ආර්ථිකයට කොමර්ෂල් බැංකු සන්නාමය ලබා දී ඇති තිරසර ප්‍රගතිය සහ කල් පවතින වටිනාකම අනුමත කිරීමක් වන මෙම පිළිගැනීම මගින් පිළිබිඹු වන්නේ ජාතියේ ප්‍රමුඛතම බැංකු සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින්, කොමර්ෂල් බැංකුව ලොව වඩාත් ම ප්‍රසිද්ධ සහ බලගතු සන්නාම අතරට ඔසවා ඇති බවයි.

Superbrand සම්මානය ගනුදෙනුකරුවන් සමග සුවිශේෂී ශක්තියක්, විශ්වසනීයත්වයක් සහ බලවත් භාවාත්මක සම්බන්ධතාවක් පිළිබිඹු කරන සන්නාම සඳහා පමණක් පිරිනමන ගෝලීය වශයෙන් පිළිගන්නා ගෞරවනීය ප්‍රශංසාවකි. Superbrand සම්මානය දිනා ගැනීමෙන් කොමර්ෂල් බැංකුව විසින් ස්ථාපිත කර ඇති සන්නාම නායකත්වයේ විවිධ අංග හඳුනා ගන්නා බව බැංකුව පවසයි. 

ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී හා වඩාත්ම ගෞරවනීය බැංකුව බවට පත් වීම, හොඳම සේවා සන්නාමය ලෙස සම්මාන ලැබීම, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවා ගිය පළමු බැංකුව බවට පත් වීම, බැංකු ක්ෂේත්‍රයේ පරිවර්තනීය නවෝත්පාදනය සහ ඩිජිටල් සක්‍රීය කිරීම මෙන්ම ශක්තිමත් පාලනය සහ අඛණ්ඩ සේවාව මෙම අංග අතර වේ.

“මෙය හුදෙක් අලෙවිකරණ ප්‍රචාරණයක් නොවේ,” යැයි කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ප්‍රකාශ කළේය. “ශක්තිය, විශ්වාසය, ප්‍රගතිය, දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම හා විශ්වාසනීයත්වය මත හැඩගස්වා ඇති කල් පවතින නායකත්වයට පැහැදිලි දායකත්වයක් ලබා දීම වැනි කරුණු බොහොමයක් හේතුවෙන් කොමර්ෂල් බැංකුව සුපිරි වෙළෙඳ නාමයක් බවට පත්ව තිබේ. එවන් පිළිගැනීමක් එක් රැයකින් පහළ වන දෙයක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ නිවැරදි දේ අඛණ්ඩව කිරීමෙන්, කැපවීම්වලට ගරු කිරීමෙන් මෙන්ම අරමුණක් ඇතිව මෙහෙයවීමෙන් ගොඩනගා ගත් දෙයකි. බැංකුවක් ලෙස අප කවුරුන් ද යන්න පෙන්වා දෙන ගුණාංග සමූහයක් ද සමගින් කාලයත් සමග අප ආ මේ ගමන මෙම සම්මානයෙන් අර්ථ දැක්වා ඇත.”

ලොව විශාලතම ස්වාධීන සන්නාම විනිශ්චයකරු වන Superbrand විසින් මෙම Superbrand සම්මානය පිරිනමනු ලබයි. එය රටවල් 85 කට වැඩි ගණනක ක්‍රියාත්මක වන අතර ප්‍රකාශන සහ ජාතික අලෙවිකරණ වැඩසටහන් 600 කට අධික සංඛ්‍යාවක් හරහා ප්‍රධාන වෙළෙඳ සන්නාම 40,000 ක් සමග කටයුතු කර ඇත. Superbrand සඳහා සහභාගී විය හැක්කේ ආරාධනයක් මතම පමණක් වන අතර එයද හිමි වන්නේ දැඩි ලෙස සිදුකෙරෙන, ස්වාධීන ඇගයීම් ක්‍රියාවලියකින් පසුව තොරා ගන්නා ලද, අදාළ ක්ෂේත්‍රවල වඩාත්ම කැපී පෙනෙන වෙළෙඳ සන්නාම සඳහා පමණි. පුළුල් පර්යේෂණ මගින් සහය ලබන Superbrand කවුන්සිලය විසින් ඉහළ ශ්‍රේණිගත කිරීමක් ලබා ඇති වෙළෙඳ සන්නාමවලට පමණක් මෙම සම්මානය හිමිකර ගැනීමට ආරාධනා ලැබේ.