කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගමේ දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා වන ඩාවි ඉන්වෙස්ට්මන්ට්ස් ට්‍රස්ට් ලිමිටඩ් එම කොටස් හිමිකම සියයට 10.13ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූ බව පවසයි. 
පසුගිය මාර්තු 18 වැනිදා සිට 25 වැනිදා දක්වා සිදුකළ කොටස් 13,380 ක ගනුදෙනු හරහා මෙම කොටස් ඉහළ නැංවීම සිදු කළ බව එම සමාගම පසුගියදා ලිපියක් මගින් කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ.  
මෙහිදී කොටසක් රුපියල් 2,300ත් 2,500ත් අතර මුදලකට ගනුදෙනුව සිදුව ඇති අතර සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 32.1 කි. 
ඩාවි ඉන්වෙස්ට්මන්ට්ස් ට්‍රස්ට් ට්‍රස්ට් සහ හැටන් නැෂනල් බැංකුව  එක්ව පවත්වාගෙන යන ගිණුමක් හරහා මෙම කොටස් හිමිකාරීත්වය පැවතුණි. ඒ අනුව පසුගිය මාර්තු 17 වැනිදා වනවිට එය කොටස් 265,151ක් වූ අතර, එය සමස්ත කොටස් අතරින් සියයට 9.64 ක ප්‍රතිශතයක් විය. 
මෙලෙස අලු‍තින් මිලදී ගත් කොටස් 13,380ත් සමගින් එය කොටස් 278,531 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව මෙය සමස්ත කොටස් අතරින් සියයට 10.13 ක ප්‍රතිශතයක් බවට පත්ව තිබේ. 
සුප්‍රසිද්ධ CBL සමූහයෙහි පරිපාලිත සමාගමක් වන කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පීඑල්සී සමාගම CBL ලංකාසෝයි, CBL සේරා, CBL නියුට්‍රිලයින් සහ CBL ටෙටොස් යන සන්නාමවල හිමිකරුවාද වෙයි.