ඉතිහාසයේ දිනක් තුළ ASPI වාර්තා කළ වැඩිම පසුබැසීම


දිනය තුළ වෙළෙඳපොළ වෙත රු. බිලියන 455 ක් අහිමි වෙයි


කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු ඊයේ දිනයේදී දරුණු කඩා වැටීමකට ලක් වූ බව වාර්තා වෙයි. 
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 22,443.38ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 1,290.68 කින්, එනම් 5.44 ක පසුබැසීමක් සටහන් කෙරිණි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා20 (S&PSL 20) දර්ශකයත් ඒකක 6,313.65ක් දක්වා ඒකක 322.32 කින් එනම් සියයට 4.86 කින් පහත වැටුණි.
මේ අතර පෙරවරු 9.30 ට ගනුදෙනු ආරම්භ වී විනාඩි 2 කට පසුව එම ගනුදෙනු විනාඩි 30 කට අත්හිටුවීමක්ද සිදු විය. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL20) දර්ශකය පෙර දිනයට සාපේක්ෂව සියයට 5 කින් පහත වැටීම ඊට හේතු විය.
කෙසේ වෙතත් පෙරවරු 10.01 ට පමණ නැවතත් ගනුදෙනු ආරම්භ වීමෙන් අනතුරුව, ගනුදෙනු අවසන් වූ පස්වරු 2.30 දක්වා යළිත් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමක් වාර්තා නොවුණි.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ උද්ගතව පවතින ගැටුම්කාරී තත්වයත් සමගින් ආයෝජකයන් අතර පැවතුණු කලබලකාරී තත්වය මෙම කඩා වැටීම සඳහා හේතුව බව තැරැව්කාර සමාගම් සඳහන් කරයි.
මේ අතර ඊයේ දිනයේ ගණුදෙනු අවසානයේදී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 7,970 ක් ලෙස සටහන් විය. මෙය අවසන් ගණුදෙනු දිනයේ පැවැති රුපියල් බිලියන 8,425 හා සැසඳීමේදී රුපියල් බිලියන 455 ක අහිමිවීමකි.