අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ දර්ශක උන්නදුවක් සහිත ස්වභාවයකට පරිවර්තනය වනු ඇතැයි සැලකේ. පසුගිය වසරේ දී ලැයිස්තුගත සමාගම්වල මුල්‍ය වාර්තා සලකා බලන පසු ආයතනික ආයෝජකයන් තෝරාගත් සමාගම්වල කොටස් මිල දී ගැනීමට අවධානය යොමු කරන්නට ඉඩ ඇත.

පොලී අනුපාත හා විනිමය අනුපාත සලකා බලන පසු කොටස් සඳහා ආයෝජනය ද සුදුසු තත්වයක් බව ප්‍රකාශ වෙමින් තිබේ. ඉහළ දර්ශකයතට පැමිණි පසු අවදානමක් සේ සලකන ලද නමුත් පසුබැසීම වළකාගෙන තවත් වටයකින් වර්ධනය වන අවස්ථාවක් හෙයින් තරගකාරීත්වයක් ඇති විය හැකිය.

මෙම වසර තුළ පවත්වන ලද ගනුදෙනු සින දොළහක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 844 කින් ඉහළ ගොස් තිබේ. උච්ඡාවචන අවස්ථා නිරීක්ෂණය කළ හැකි වූ නමුත් ස්ථාවර තත්වයක් කරා පැමිණෙන බව පැහැදිලි බව වෙළෙඳපොළ උපදේශකයෝ සඳහන් කරති. ආයෝජන අංශවල විශ්වාසය ආරක්ෂා කරගැනීම වැදගත් වන අතර, සැක ඇතිකරගෙන කරන හදිසි විකිණීම් වර්ධනයට බාධාවක් බව ද පෙන්වා දෙති. 

විදේශ ආයෝජන අංශ සක්‍රීය වෙමින් පවතින අතර, මෙදින ගනුදෙනු අතරවාරයේ රුපියල් මිලියන 66 ක මුදලක් එක දිනයක් තුළ ශුද්ධ ආදායම වශයෙන් රටට ලැබීම කැපී පෙනෙන සිද්ධියක් ලෙස සටහන් කළ හැකිය. රුපියල් මිලියන 176.0 ක විදේශ මිල දී ගැනීම් තිබිය දී රුපියල් මිලියන 110.7 ක විදේශ විකිණීම් සිදුවිය. මෙම ප්‍රවණතාව අපේක්ෂා කළ යුතු අතර එය රටට වාසිදායකය. 

අවසන් ගනුදෙනු දිනයේ අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,731.60 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 22.90 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,560.08 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 18.11 ක ප්‍රගතියකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 4.72කි. ගනුදෙනු 37,867 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 132.55 ක් විය. සමාගම් 137 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 106 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 63.16ක් වැනි අගයක විය.

නිරීක්ෂක