• දහතුන්දෙනකුගෙන් යුත්  විශේෂඥ කමිටුවක්  කටු පොල් වගාව හානිදායක  නැතැයි කරුණු දක්වලා 
  • 2019 වසරේ පැනවූ තහනම  නිසා හෙක්ටයාර 8,000 ක  කටුපොල් වගාව නැවතිලා
  • තහනම ඉවත් කළොත්  අලු‍තින් හෙක්ටයාර 10,600 ක  කටුපොල් වගාවට ආයෝජන
  • තහනම පැනවීමට පෙරාතුව  අවසරය ලබාදී තිබූ හෙක්ටයාර  8000ක කටුපොල් වගාව  සිදු වුණේ නම් එයින් රටට  ලැබෙන ආදායම ඩො. මි. 35ක්
භානුක අමරසිංහ
රට තුළ වසර හතකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කටුපොල් වගා තහනම ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගන්නේ නම් එම කර්මාන්තය සඳහා ආයෝජනය කිරීමට කලාපීය වැවැලි සමාගම් නියෝජනය කරමින් ආයෝජකයන් රැසක් සූදානමින් සිටින බව පාම් තෙල් කර්මාන්ත සංගමය (POIA) සඳහන් කරයි.
මෙම කටුපොල් වගාව සහ පාම් තෙල් කර්මාන්තය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරිම සඳහා පසුගියදා පැවැත්වුණු සාකච්ඡාවකදී එම සංගමය මෙම කරුණු පවසා සිටියේය. විශේෂයෙන්ම මෙම වගාව සහ කර්මාන්තය සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින අයහපත් මතය ඉවත් කිරීම රටට ආර්ථිකමය වශයෙන් වැදගත් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
මෙහිදී අදහස් දක්වා සිටි POIA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී යජිත් ද සිල්වා මහතා මෙසේ පැවසීය. “2019 වසරේදී මේ තහනම ක්‍රියාත්මක වන අවස්ථාව වන විට රට තුළ හෙක්ටයාර 10,400 ක කටුපොල් වගාව සිදු කර තිබුණා. ඒ වගේම හෙක්ටයාර 8,000 ක පමණ භූමියක මෙය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා වන සහන ලබාදී තිබුණා. 
 
පසුව කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම අනුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් පත් කළ සාමාජිකයන් 13 දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් මගින් කටු පොල් වගාව හරහා පාරිසරික හෝ සෞඛ්‍ය බලපෑමක් එල්ල වන බවට වන චෝදනාවේ පදනමක් නොමැති බව පවසා තිබෙනවා. 
ඉදියේදී මෙය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වේවි. අපි බලාපොරොත්තු වෙනවා මේ කරුණු සලකා බලා වත්මන් රජය මේ තහනම ඉවත් කරාවි කියලා.’’
විශේෂයෙන්ම මෙම කටුපොල් වගාව යනු අනෙකුත් වගා හා සැසඳීමේදී අඩු පිරිවැයක් මත ඉහළ ලාබ ලැබිය හැකි කර්මාන්තයක් බව එම සංගමය මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව මෙම තහනම පැනවීමට පෙරාතුව අවසරය ලබාදී තිබූ හෙක්ටයාර 8000ක කටුපොල් වගාව සිදු වුණේ නම්, ඒ හරහා රටට ලැබෙන ආදායම ඩොලර් මිලියන 35ක් පමණ වන බවත් මෙහිදී අනාවරණය විය.
“සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 4000ක පමණ පාම් තෙල් ඵලදාවක් ලැබෙනවා. ඒ කියන්නේ මේ හෙක්ටයාර 8000 න් මෙට්‍රික් ටොන් 32,000 ක පාම් තෙල් ඵලදාවක් ලැබෙන්න තිබුණා. පාම් තෙල් මෙට්‍රික් ටොන් 1ක ගෝලීය මිල ඩොලර් 1,000ක් පමණ වෙනවා. ඒ කියන්නේ මේ තහනම නිසා ඩොලර් මිලියන 35ක් පසුගිය වසර හතේදී අහිමි වී තිබෙනවා.’’
ඒ අනුව කටුපොල් වගාව සම්බන්ධයෙන් පවතින තහනම ඉවත් කිරීමට රජය පියවර ගන්නේ නම් තවත් අලු‍තින් හෙක්ටයාර 10,600 ක පමණ කටුපොල් වගා කිරීමට සිය කලාපීය වැවිලි සංගම් සූදානමින් සිටින බවද මෙහිදී සඳහන් විය.
“2025 වසරේදී ශ්‍රී ලංකාව පාම් තෙල් මෙට්‍රික් ටොන් 285,670ක් ආනයනය කර තිබෙනවා. රට තුළ දේශියව නිපදවා ඇත්තේ මෙට්‍රික් ටොන් 38,210 ක් පමණයි. මේ වගාව ව්‍යාප්ත කිරිම හරහා අපිට විදේශ විනිමය ඉතිරිකර ගැනීමේ අවස්ථාවක් පවතිනවා’’ යජිත් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.