ශ්‍රී ලාංකේය සිසු පරපුරේ අධ්‍යාපන සිහින සැබෑ කරලීම වෙනුවෙන්, ඔක්ස්ෆර්ඞ් චෙස්ටර් උසස් අධ්‍යාපන ආයතනය (OCU) මගින් පූර්ණ ශිෂ්‍යත්ව 75ක් පිරිනමන ලදී. ගංගාරාම විහාරාධිපති  ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් සංවිධානය වූ මෙම වැඩසටහන, උන්වහන්සේගේ සෘජු මගපෙන්වීම සහ සුවිශේෂී සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූවකි.
පොලිස්පතිවරයාගේ සහභාගීත්වයෙන් පොලිස් මූලස්ථානයේදී මෙම වැඩසටහන ආරම්භ වූ අතර ඒ සඳහා පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනී නීතීඥ නිල්මිණී නීටා සමරතුංග මහත්මියද සහභාගි වූවාය.  මෙහිදී රට වෙනුවෙන් අප්‍රතිහත සේවයක් ඉටු කරන පොලිස් නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් උපහාරයක් ලෙස මෙන්ම, දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන දක්ෂ දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට සහ සිසුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීමට ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා ලබාදෙන සුවිශේෂී දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය. අස්සජි හිමියන්ගේ මගපෙන්වීම මත ඔක්ස්ෆර්ඩ් චෙස්ටර් ආයතනය ක්‍රියාවට නංවන මෙම සමාජ සත්කාරය, මෙරට අනාගත පරපුරේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන්නකි. 
බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසෆ්, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්, වර්නන් පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති පොලිස් මූලස්ථාන, නාලක සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.