• ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවෙන් බැහැරව එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් නිපදවයි 

John Keells PLC හි අනුබද්ධිත ආයතනයක් වන Ceylon Cold Stores PLC (CCS), තම සුප්‍රසිද්ධ සන්නාමයක් වන ‘එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම්’ නිල වශයෙන් ඕස්ට්‍රේලියානු වෙළෙඳපොළට හඳුන්වාදී තිබේ. 

ඒ අනුව එලිෆන්ට් හවුස් සන්නාමය මේ වන විට මාලදිවයින, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 16ක් පුරා තම වෙළෙඳ ජාලය ව්‍යාප්ත කිරීමට සමත්ව සිටියි. 

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළේ පවතින ඉල්ලු‍ම සපුරාලීම සඳහා එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් ප්‍රථම වරට මෙල්බර්න් හි දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇතැයිද පවසයි. 

ඒ යටතේ මිලිලීටර් 500 ඇසුරුම්වලින් සමන්විත වැනිලා, කර්තකොළොම්බන් සහ ෆෘට් ඇන්ඞ් නට් යන රසයන් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. වසර 160ක අභිමානවත් උරුමයක් හිමි සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් සමාගම, සිය අයිස්ක්‍රීම් නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් බැහැරව නිෂ්පාදනය කරන ප්‍රථම අවස්ථාව මෙයයි. 

මෙහිදී ඕස්ට්‍රේලියාවේ බලයලත් හවුල්කරුවකු වන Millennium Imports Pty Ltd ආයතනය සමග එක්ව මෙය ක්‍රියාත්මක කරයි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ජෝන් කීල්ස් පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා,‍ “ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සන්නාමයක් නිවැරදි හවුල්කරුවන් සහ දිගුකාලීන දැක්මක් සහිතව විදේශීය ප්‍රජාව වෙත සමීප කිරීමේ උත්සාහයක් ලෙස හඳුන්වන්න පුළුවන්“ යනුවෙන් පවසයි. 

CSS හි අයිස්ක්‍රීම් අංශයේ ප්‍රධානී සහ අපනයන අංශයේ ව්‍යාපාර ප්‍රධානී සතිෂ් රත්නායක මහතා, “පාරිභෝගික රුචිකත්වයට ගැළපෙන පරිදි ඉදිරියේදී නිෂ්පාදන පරාසය පුළුල් කරමින්, ශ්‍රී ලාංකික ප්‍රජාවෙන් ඔබ්බට ගිය පුළුල් පාරිභෝගික පදනමක් සකස් කර ගැනීම අපගේ අරමුණයි.“ යනුවෙන් පවසයි. 

CSS හි ජාත්‍යන්තර අලෙවි ප්‍රධානී සුදන්ත වික්ටෝරියා මහතා, “අපගේ මීළඟ ඉලක්කය වන්නේ ඕස්ට්‍රේලියාව පුරා අපගේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කරමින්, නව රස සහ ඇසුරුම් හඳුන්වා දෙමින් ඕස්ට්‍රේලියානු වෙළෙඳපොළේ ප්‍රියතම තේරීමක් බවට පත්වීමයි.“ යනුවෙන් සඳහන් කරයි.