ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල සංගමය ජනපතිගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකා බෝතල් කළ පානීය ජල සංගමය (SLBWA) බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල (MRP) නියම කර ඇති ගැසට් නිවේදනය අවලංගු කිරීම හෝ තාවකාලිකව අත්හිටුවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. කර්මාන්තය මුහුණ දෙමින් ඇති වියදම් සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.
එම සංගමය ප්‍රකාශ කරන්නේ වර්තමාන මිල ව්‍යුහය යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් බොහෝ දෙනකුට ව්‍යාපාර පවත්වා ගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බවයි. මෙම තත්වය දිගටම පැවතුණොත් ආරක්ෂිත පානීය ජල බෝතල් සැපැයුමට බලපෑම් ඇති විය හැකි බව ලිපියෙන් අවධාරණය කර ඇත.
2025 අප්‍රේල් 01 පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ අති විශේෂ ගැසට් අංක 2430/15 යටතේ බෝතල් කළ පානීය ජලය සඳහා මිලිලීටර් 500 සිට 999 දක්වා රු. 70ක, ලීටර් 1 සිට 1.499 දක්වා රු. 100ක, ලීටර් 1.5 සිට 1.999 දක්වා රු. 130ක, ලීටර් 2 සිට 2.499 දක්වා රු. 160ක සහ ලීටර් 5 සිට 6.999 දක්වා රු. 350ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත. මෙම ගැසට් නිවේදනය නිකුත් කළ අවස්ථාවේදී නිෂ්පාදන හා මෙහෙයුම් වියදම් සමාන්‍ය තත්වයක පැවැති නමුත් වර්තමානයේදී එම තත්වය විශාල ලෙස වෙනස් වී ඇති බව සංගමය පෙන්වා දෙයි.
සංගමය ඉදිරිපත් කළ ප්‍රධාන අභියෝග අතරට ඉහළ ගිය ඉන්ධන වියදම් හේතුවෙන් නිෂ්පාදන හා ප්‍රවාහන වියදම් වැඩි වීම, PET ප්ලාස්ටික් වැනි ඉන්ධන පදනම් වූ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, මැද පෙරදිග රටවල සැපැයුම් බාධා හේතුවෙන් අමුද්‍රව්‍ය ආනයනයට ඇති වූ ගැටලු, ජාත්‍යන්තර නාවික හා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු වැඩි වීම, විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් ජල පිරිපහදු සහ බෝතල් කිරීමේ ක්‍රියාවලියේ වියදම් ඉහළ යාම, අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය මිල දී ගැනීමේ දුෂ්කරතා අයත්ය.
එමෙන්ම විදෙස් සැපැයුම්කරුවන්ගෙන් කලින් ඇණැවුම් කළ අමුද්‍රව්‍යවල මිල වර්තමාන මිල දක්වා වැඩි කිරීමට බොහෝ සැපැයුම්කරුවන් ක්‍රියා කිරීම නිසා නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ යාම ඇතුළත් වේ. මෙම තත්වය සැලකිල්ලට ගනිමින් වර්තමාන මිල නියම කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය කර කර්මාන්තයට සහන දීම අත්‍යවශ්‍ය බව සංගමය පෙන්වා දෙයි. එමඟින් බෝතල් කළ පානීය ජල කර්මාන්තයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය සහ රට පුරා ආරක්ෂිත පානීය ජල බෝතල් සැපැයුම තහවුරු කළ හැකි බව සංගමය අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd