ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිති ඉහළ නැංවීම සහ තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, INSEE සමාගම සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා ගාල්ලේ Radisson Blu හෝටලයේදී පැවැත්වුණි. 
INSEE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණු අතර ඒ සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු දකුණු, පළාත් පාලන ආයතන, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය (PRDA), ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 
මෙම වැඩපිළිවෙළ යටතේ ඉදිරි මාස කිහිපය තුළ දකුණු පළාතේ ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් වෙනුවෙන් අඛණ්ඩ පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දකුණු පළාතේ රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනැගීමෙන් නවීන තාක්ෂණික දැනුම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙත සමීප කිරීමත්, දැනුමෙන් සන්නද්ධ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් මෙරට අනාගතය වෙනුවෙන් නිර්මාණය කිරීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණු අතර වේ.