කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


ලංකාවේ පළමු වරට සී 4, සී 5 කුරුඳු වර්ග දෙකෙහි කිලෝවක මිල රුපියල් 5000 සීමාව ඉක්මවා ගිය බව සමස්ත ලංකා කුරුඳු සංගමය කියයි. මේ වනවිට එම කුරුඳු වර්ග දෙකේම කිලෝවක මිල රුපියල් 5300 දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුරුඳු සංගමයේ සභාපති සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා කීය.

සී 4, සී 5 කුරුඳු වර්ග දෙකේ මිල මෙරටේ කුරුඳු කර්මාන්ත ඉතිහාසයේ මේසා විශාල මිලකට ඉහළ ගිය පළමු හා එකම අවස්ථාව බවද ඒ මහතා කීය. විශේෂයෙන්ම මැදපෙරදිග යුද්ධයක් ආරම්භ වී ඇති සමයක කුරුඳු මිල මේ ආකාරයෙන් වැඩිවීම හිතා ගැනීමට ඉතා අපහසු කාරණාවක් බවද ඔහු කීවේය.

මේ ආකාරයෙන් බලන කල මේ රටේ කුරුඳු මිලට මැදපෙරදිග යුද්ධය ඍජුව හෝ වක්‍රව බලපා නැති බව පෙනී යන බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

අවාසනාවකට මෙන් මේ දිනවල පවතින පෑවිල්ල සහ අධික රස්නය නිසා කුරුඳු අස්වැන්න නියමාකාරයෙන් නෙළා ගැනීම ගැටලු‍වක් වී තිබෙන බවද ඔහු කීවේය.

කුරුඳු අස්වැන්න නෙළා ගැනීමට සුදුසු කාලගුණය හා දේශගුණය එන තෙක්ම මේ කුරුඳු මිල තිබෙන්නේ නම් රටේ කුරුඳු කර්මාන්තයේ යෙදෙන අයගේ හෙට දවස සුබදායී වනු ඇති බවට සිය සංගමය විශ්වාස කරන බවද සමන් ප්‍රියන්ත මහතා කීය.