ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (AIBL) සමාගමේ සභාපති ධනික ද සිල්වා මහතා සහ ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් (LVC) සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී දමින්ද විජේසිංහ මහතා ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව.


ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළැඹුණු බව පසුගියදා නිවේදනය කළේය. මෙම නව ගිවිසුම යටතේ ලයිෆ් විෂන් සමාගමේ සමස්ත රක්ෂණ සේවා කළමනාකරණය කරනු ලබන නිල රක්ෂණ සේවා සැපයුම්කරු ලෙස ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම කටයුතු කිරීමට නියමිතය.
මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ වන්නේ ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම සතු අවදානම් කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් සහ ලයිෆ් විෂන් සමාගමේ වර්ධනය වෙමින් පවතින මූල්‍ය මෙහෙයුම් ජාලය එකිනෙක ඒකාබද්ධ කිරීමයි. එමගින් ලයිෆ් විෂන් සමාගම සතු වත්කම් මෙන්ම ඔවුන්ගේ ගනුදෙනුකාර පදනම වඩාත් ක්‍රමවත් රක්ෂණ විසඳුම් ඔස්සේ ආරක්ෂා කිරීම තහවුරු කෙරේ.
වසර විස්සකට වැඩි අත්දැකීම් බහුල ඉතිහාසයක් ඇති ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම, සාමාන්‍ය රක්ෂණ, ජීවිත රක්ෂණ සහ ප්‍රතිරක්ෂණ විසඳුම් රැසක් පිරිනමන ප්‍රමුඛ පෙළේ තැරැව්කාර සමාගමකි. විශ්වාසනීයත්වය සහ නවෝත්පාදනය මත පදනම් වූ කීර්තිනාමයක් හිමි කරගෙන සිටින එම සමාගම, පෞද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ට විනිවිදභාවයකින් යුත් විශ්වසනීය අවදානම් හුවමාරු කිරීමේ විකල්ප ලබා දෙමින් රක්ෂණ වෙළෙඳපොළේ සිය ප්‍රමුඛත්වය පවත්වාගෙන යයි.
ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා ප්‍රවේශ විය හැකි මූල්‍ය විසඳුම් ලබා දීමට කැපවී සිටින, ශීඝ්‍රයෙන් වර්ධනය වන ආයතනයකි. 
සදාචාරාත්මක ණය ලබාදීම සහ මූල්‍ය සාක්ෂරතාව කෙරෙහි අවධානය යොමු කරන එම සමාගම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සිට හදිසි මූල්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයන් දක්වා විවිධ පරාසයක පතිත වූ ගනුදෙනුකරුවන්ට සිය සේවා සපයයි. “ව්‍යාපාරයක් පමණක් නොව, ජීවිතයක් ගොඩනැගීම”‍ යන ඔවුන්ගේ දර්ශනය, ඇසට්ලයින් සමග ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ක්ෂුද්‍ර මූල්‍ය ණය, රන් ණය සහ ව්‍යවසායකත්ව සහාය ඇතුළු ප්‍රජා මූලික මූල්‍ය සේවා සඳහා ප්‍රසිද්ධියක් උසුලන ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් සමාගමට, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් වැනි ඉහළ පෙළේ බ්‍රෝකර් සමාගමක වෘත්තීයමය අධීක්ෂණය සහ ආරක්ෂාව හිමිවීම තුළින් ඉදිරියේ දී විශාල ප්‍රතිලාභ රැසක් අත්වනු ඇත.