• ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළු ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන්ට පැනවූ ‘‘අන්‍යෝන්‍ය තීරුබද්ද”‍ බල රහිත කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
  • සියයට 10ක නව තීරු බද්ද හෙට(24) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් වැඩිකළ සියයට 15ක තීරු බද්ද හෙට සිට ක්‍රියාත්මකවේද යන්න පැහැදිලි නෑ

විමුක්ති එස් රුද්‍රිගු


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘‘අන්‍යෝන්‍ය තීරුබද්ද”‍ බලරහිත කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දුවක් ලබාදීමත් සමග ඇමෙරිකාව පැමිණෙන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10 තීරු බද්දක් පනවන බව ජනපති ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

පසුව නැවතත් පෙරේදා (21) ජනපති ට්‍රම්ප් ඔහුගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ ඇමෙරිකාවට පැමිණෙන සියලු‍ම භාණ්ඩ සඳහා පැනවීමට අදහස් කෙරූ සියයට 10 ක තීරු බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීමට තමන් තීරණය කළ බවයි. මීට පෙර භාවිත කර නොතිබූ වෙළෙඳ නීතියක් භාවිත කරමින් ට්‍රම්ප් නව තීරු බද්ද පනවනු ලබා තිබුණේය.

ඒ යටතේ කොංග්‍රසයේ අනුමැතිය ලබා ගැනීමට මාස පහකට පෙරට තීරු බද්දක් පැනවීමට ජනපති ට්‍රම්ප්ට අවස්ථාව ලැබේ. කෙසේ නමුත් නව සියයට 10ක තීරු බද්ද හෙට (24) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් වැඩිකළ සියයට 15ක තීරු බද්ද හෙට සිට ක්‍රියාත්මකවේද යන්න පැහැදිලි නැත.

නව තීරු බද්ද ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වැනි ”‍අන්‍යෝන්‍ය තීරුබද්ද”‍ යටතේ සියයට 10ක තීරු බද්දක් පැනවූ රටවලට ගැටලු‍වක් මතු කරනු ඇති අතර නව තීරු බද්ද යටතේ එම රටවලට පනවා ඇති සියයට 10ක බදු ප්‍රතිශතය සියයට 15 දක්වා ඉහළ යයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාව ඇතුළු ඇමෙරිකාවේ වෙළෙඳ හවුල්කරුවන්ට පැනවූ ‘‘අන්‍යෝන්‍ය තීරුබද්ද”‍ බල රහිත කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය. එම තීරු බද්ද පැනවීමේදී ජනපති ට්‍රම්ප් සියබලය ඉක්මවා ගොස් ඇතැයි ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

ජනපති ට්‍රම්ප් ”‍අන්‍යෝන්‍ය තීරුබද්ද”‍ පනවා ඇත්තේ හදිසි අවස්ථාවක් සඳහා තිබෙන බද්දක් භාවිත කරමින් බවත් ඇමෙරිකානු කොංග්‍රසයේ අනුමැතිය නොමැතිව එවැනි බද්දක් පැනවීමට ට්‍රම්ප්ට බලයක් නොමැති බවත් එම නඩු තීන්දුවේ සඳහන් වේ. ගෝලීය තීරු බදු න්‍යාය පත්‍රය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර ලබාදුනහොත් එය ඇමෙරිකානු ඉතිහාසයේ සිට පැවැත එන ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර සම්බන්ධතාවයට හානියක් වනු ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ දැක්වේ.

විනිසුරුවරුන් නව දෙනකුගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් හය දෙනකුගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.