කොටසකට රැපියල් 3,400ක් ගෙවීමට කැමැත්ත 


සමස්ත කොටස් අතරින් සියයට 51.11 ක් ඇම්බියොන් සතුයි 


ඉතිරි කොටස් 981,118න් 778,946ක් ඇත්තේ හේලීස් සමූහය සතුවයි


භානුක අමරසිංහ 


හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ සියයට 51.11 ක කොටස් හිමිකාරීත්වයක් සහිත ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම එහි ඉතිරි සියයට 48.89 ක කොටස් හිමිකාරීත්වයත් අත්පත් කරගැනීම සඳහා සූදානමින් සිටින බව පවසයි. 
ඒ සඳහා වන ස්වේච්ඡාවෙන් කොටස් අලෙවි කිරීමේ යෝජනාවක් ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන ඇම්බියොන් එසෙන්ෂියෙල්ස් ප්‍රයිවට් ලිමිටඩ් නම් සමාගමක් හරහා එම කොටස් හිමිකරුවන් වෙත පසුගියදා ඉදිරිපත් කර තිබුණි. 
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති කොටස් 1,919,600 ක් සඳහා  එක් කොටසකට රුපියල් 3,400ක් බැගින් ගෙවා එම කොටස් මිලදී ගන්නා බව එහි සඳහන්ව තිබේ. 
මෙහිදී පසුගිය ජනවාරි 24 වැනිදා වනවිට හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම නිකුත් කළ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් අතරින් 981,118 ක් තමන් වෙත අලෙවි කිරීමට කොටස් හිමිකරුවන් 09 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එකඟ වූ බවත්, පසුගිය මාර්තු 20 වැනිදා එම කොටස් මිලදී ගැනීමේ එකඟතාවට අත්සන් තැබූ බවත් ඇම්බියොන් එසෙන්ෂියෙල්ස් ප්‍රයිවට් ලිමිටඩ් පවසයි. 

ඒ අනුව ඉතිරි කොටස් 938,482 (සියයට 48.89) මිලදී ගැනීම සඳහා මෙලෙස එම සමාගම අදාළ කොටස් හිමිකරුවන් වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. 
මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී හේලීස් සමූහය හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගමේ කොටස් 778,946 ක් එනම් සියයට 40.58ක් මිලදී ගනිමින් එහි තනි විශාලම කොටස් හිමිකරුවා බවට පත්විය. ඒ අනුව ඇම්බියොන් එසෙන්ෂියල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ඉල්ලා සිටින කොටස් 938,482 ක් අතරින් 778,946ක්ම ඇත්තේ හේලීස් සමූහය යටතේය.  
හේලීස් සමූහයද මීට පෙර ඉතිරි සියයට 59.42 ක කොටස් හිමිකාරීත්වය, එක් කොටසකට රුපියල් 3,300ක් බැගින් ගෙවා මිලදී ගැනීම සඳහා කොටස් හිමිකරුවන්ට යෝජනා ඉදිරිපත් කළත් ඊට කිසිඳු ප්‍රතිචාරයක් හිමි නොවුණි. 
 ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයෙහි ආයෝජන හස්තය වන ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමාගම අද වනවිට පාවහන්, ආයෝජන, දේපළ වෙළෙඳාම්, මූල්‍ය සේවා සහ තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සේවාවල ආයෝජනය කර තිබේ. එම සමාගමේ ප්‍රධානතම කොටස් හිමිකරුවකු ලෙස මෙරට සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතාට අයත් ්ARRC CAPITAL (PVT) LTD  සිටියි. 
හේලීස් සමූහය මෙරට විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන අතර, හරිස්චන්ද්‍ර මිල්ස් මිලදී ගැනීම එම සමාගම ඉදිරියේදී පිවිසීමට නියමිත සුපිරි වෙළෙඳ සැල් ව්‍යාපාරයට සම්බන්ධ වනු ඇතැයි අදහස විය. හේලීස් සමූහය ධම්මික පෙරේරා මහතාට අයත්ය.