සභාපති, රමල් ජාසිංහ

ප්‍රධාන විධායක නිලධාරී, ජයලාල් හේවාවසම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් මෙන්ම කීර්තිමත් රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන ආර්පිකෝ රක්ෂණ සමාගම, 2026 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජයලාල් හේවාවසම් මහතා පත් කර ඇත. 

හේවාවසම් මහතා, විකුණුම්, අලෙවිකරණ සහ පොදු කළමනාකරණ ක්ෂේත්‍රවල වසර 25කට වැඩි විශේෂිත පළපුරුද්දක් ආර්පිකෝ රක්ෂණ සමාගම වෙත රැගෙන එයි. මීට අමතරව ඒ මහතා ලංකාව සහ මාලදිවයින යන රටවල් ද්විත්වයේම රක්ෂණ ක්ෂේත්‍රය මෙන්ම පාරිභෝගික භාණ්ඩ (FMCG) ක්ෂේත්‍රය යන අංශ දෙකෙහිම ඉහළ පෙළේ නායකත්ව තනතුරු දරමින් විශිෂ්ට වෘත්තීය ගමනක නිරත වී ඇත. මෙම පත්වීමට පෙර ඔහු ජර්මානු බහුජාතික මූල්‍ය සේවා දැවැන්තයකු වන Allianz SE හී දේශීය ආයතනය වන Allianz Life Insurance Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස සාර්ථකව කටයුතු කළේය.

Allianz හි ධුර කාලයට පෙර, හේවාවසම් මහතා Assetline Insurance Brokers හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී (MD & CEO) ලෙස සේවය කළ අතර Union Assurance, AIG Insurance Sri Lanka සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු හෙබවීය. රක්ෂණයෙන් ඔබ්බට, ඔහුගේ මුල් වෘත්තීය ජීවිතයට Chevron Lubricants Sri Lanka, United Breweries Lanka, International Distillers Lanka සහ Maliban Biscuits Ltd. යන සමාගම්වල තනතුරු ඇතුළත් විය.

වරලත් රක්ෂණවේදියකු මෙන්ම වරලත් අලෙවිකරුවකු ද වන හේවාවසම් මහතා, එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ සහ වරලත් අලෙවිකරණ ආයතනයේ “Fellow” සාමාජිකත්වය දරන අතර, ඔහු ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ උපාධිධාරී සාමාජිකයකු ද වේ.