අමානා ටකාෆුල් පීඑල්සී රක්ෂණ සමාගම මගින් සිදුකරන හිමිකම් නිකුතුවක් හරහා රුපියල් බිලියනයක මුදලක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි. පසුගියදා සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. 

ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 14ක් සඳහාම අලු‍තින් කොටස් 03 ක් නිකුත් කෙරේ. මෙහිදී නිකුත් කෙරෙන කොටස් සංඛ්‍යාව 52,854,857 කි. කොටසක් රුපියල් 19.00 ක් බැගින් නිකුතුව හරහා රැස් කෙරන මුදල රුපියල් බිලියන 1 ක් (රුපියල් 1,004,242,283ක්) වෙයි. 

මෙම නිකුතුව හරහා සමාගමෙහි කොටස් පදනම තවදුරටත් දියුණු කරගැනීම සහ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් නිකුත් කර ඇති අවදානම් පාදක ප්‍රාග්ධන ක්‍රියාරාමුව යටතේ පවතින ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පවත්වාගෙන යාම අරමුණ බවත් පවසයි. වර්තමානයේදී සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 2.15 කි. 

මෙම නිකුතුව සඳහා අදාළ නියාමන බලධාරීන්ගේ සහ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවිය යුතුව ඇතැයිද අමානා ටකාෆුල් පීඑල්සී පවසයි.