මූල්‍ය සාක්ෂරතාව සහ මූල්‍ය ඇතුළත්කරණය ඒ සඳහා අත්‍යවශ්‍යයි
දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක්, සමාජ ආරක්ෂක ක්‍රමවේදයක් මෙන්ම රක්ෂණය ප්‍රවර්ධනය කිරීමත් වැදගත්
කුඩා හා විවෘත රටක් වන අප සාර්ව ආර්ථික වැරදි වෙත ඉක්මනින් නිරාවරණය වෙනවා
සාර්ව ආර්ථික කළමනාකරණය විනයක් සහිතව, දත්ත සාක්ෂි මත පදනම්ව නිරන්තරයෙන් සිදු කළ යුතුයි
ස්වාරක්ෂක ගොඩනැගීමේදී බැංකු සහ මූල්‍ය ආයතන සතුව වැඩි වැඩ කොටසක්
භානුක අමරසිංහ
අනාගතයේදී රටට මුහුණ දීමට සිදුවන කම්පන හමුවේ නැගී සිටීමට නම් ජාතික ස්වාරක්ෂක නැවත ගොඩනැගීමට කටයුතු කළ යුතුව තිබෙන බව මහ බැංකු ප්‍රධානීහු සඳහන් කරති.
ඊයේ (07) කොළඹදී පැවැත්වුණු CEPA ජාත්‍යන්තර සමුළුවට එක්වෙමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර සහ මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරියක සහ වර්තමානයේදී CEPA හි කමිටු සාමාජිකාවක වන විවෙට් ප්‍රනාන්දු මහත්මිය මෙම කරුණු සඳහන් කළහ.
අර්බුද අවස්ථාවේදී දරිද්‍රතාව සහ සංවර්ධනය යන මැයෙන් මෙම ජාත්‍යන්තර සමුළුව සංවිධානය වී තිබුණි. CEPA ආයතනයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙය පැවැත්වීමත් විශේෂත්වයක් විය.
මෙහිදී එම සමුළුවෙහි ප්‍රධාන දේශනය සිදු කළ මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා, මෙම ජාතික ස්වාරක්ෂක නැවත ගොඩනැගීමේදී රටේ දුප්පතුන් සහ අනතුරට ලක්විය හැකි පිරිස් සතු දරාගැනීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කළ යුතුව තිබෙන බව පෙන්වා දුන්නේය.
“මේ නිසා තමයි මහ බැංකුව ජනතාව අතර මූල්‍ය සාක්ෂරතාව සහ මූල්‍ය ඇතුළත්කරණය වැඩිදියුණු කිරීම සඳහා අවධානය යොමු කර තිබෙන්නේ. ඒ වගේම තමයි මහ බැංකුව වෙළෙඳපොළ පිළිබඳව සුපරීක්ෂණයේ යෙදෙමින් මූල්‍ය ආයතන තුළ මුදල් තැන්පතු වලදී මෙන්ම ණයට දීමේදීද සිදුවන පිළිගත නොහැකි ක්‍රියාවලට එරෙහිව කටයුතු කරන්නේ.”
එහිදී දුප්පතුන්ට සහ අවදානමට ලක්විය හැකි අයට උපකාර කිරීමේ වගකීම ප්‍රධාන වශයෙන් සහ දැඩි ලෙස රජය සතු බවත්, ඒ අනුව පෞද්ගලික අංශය සමඟ එක්ව ඵලදායී රැකියා සහ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“මේ සඳහා රට පුරා ක්‍රියාත්මක ආකාරයේ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ සමාජ ආරක්ෂක ක්‍රමවේදයක් සකස් කිරීම මෙන්ම රක්ෂණය වැඩි වශයෙන් ප්‍රවර්ධනය කිරීම යන ජාතික ප්‍රතිපත්ති ඇති කිරීම මෙම දුප්පත් සහ අනතුරට භාජනය විය හැකි පිරිස් වෙත සහාය වීමට අත්‍යවශ්‍ය වෙනවා. ඒ හරහා වයස්ගත ජනගහනය පොලී අනුපාත මත යැපීම අඩු කිරීම වගේම යම් ආපදාවක් ආර්ථිකය වෙත බලපෑම් එල්ල කළ අවස්ථාවේදී අක්‍රිය වන ක්‍රියාකාරකම් හේතුවෙන් වඩාත් අනතුරට භාජන විය හැකි දවසේ වැටුප් ලබන අවිධිමත් සේවකයන් ආරක්ෂා කරගැනීමටත් මෙය වැදගත්.”
විශේෂයෙන්ම කුඩා සහ විවෘත ආර්ථිකයක් පවතින අපේ රට, සාර්වආර්ථික වැරදි වෙත වේගයෙන් ගොදුරු වන බවත් ආචාර්ය චන්ද්‍රනාත් මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව ප්‍රතිපත්ති විශ්වාසනීයත්වය, පැහැදිලි සන්නිවේදනය සහ ක්‍රියාරාමු යනාදිය ශක්තිමත් විය යුතු ඔහු සඳහන් කළේය.
“ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ පැත්තෙන් බැලුවොත්, යම් කිසි අර්බුදයක් අවස්ථාවේදී ප්‍රතිපත්ති සම්පාදනය කිරීමෙන් වැඩක් නැහැ. එම ප්‍රතිපත්ති එම අර්බුදය ඇතිවීමට පෙරාතුව පැවැතිය යුතුයි. තාක්ෂණික නිවැරදි කිරීම ප්‍රමාණවත් නැහැ. ප්‍රතිපත්ති වෙත මහජන සහාය ලබාගැනීමට නම් ඒවා ආයතනිකව විශ්වාසවන්ත විය යුතු අතර, පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුයි. ප්‍රමාදය කියන්නේ වඩාත් මිල අධිකම කාරණාවයි. ඒ වගේම වඩාත් වැදගත් දේ සාර්ව ආර්ථික කළමනාකරණය කියන දේ කාලයෙන් කාලයට නොව නිරන්තරයෙන් සිදුවිය යුතු, විනයක් සහිත සාක්ෂිමත පදනම් වූවක් විය යුතුයි.”
මහ බැංකුවේ හිටපු සහකාර අධිපතිවරියක වන විවෙට් ප්‍රනාන්දු මහත්මිය මෙහිදී අදහස් දක්වමින්, ජාතික ස්වාරක්ෂක ගොඩනැගීමේදී බැංකු සහ මූල්‍ය ආයතන සතුව වැඩි වැඩ කොටසක් පවතින බව සඳහන් කළාය.
“මෙම බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන පැවතිය යුත්තේ රටෙහි ආර්ථිකයේ අවශ්‍යතාව වෙනුවෙන්. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත අවශ්‍ය මූල්‍යමය සහාය ලබා දීම වෙනුවෙන්. ඒ හරහා තමයි මේ ජාතික ස්වාරක්ෂක ගොඩනැගීමේ අවස්ථාව ඇති වෙන්නේ. ඒ නිසා මේ ආයතන එම ව්‍යාපාර වෙත සහාය දැක්වීම සඳහා තමන්ගේ නිෂ්පාදන කළඹ විවිධාංගීකරණය කළ යුතු වෙනවා.”
එසේම මෙම මූල්‍ය ආයතනවලින් ණය ගන්නා පිරිස්ද එම මුදල් නිසි ලෙස උපයෝගී කර ගැනීමට වගබලා ගත යුතුව තිබෙන බවත් ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
“ඒ වගේම තමයි රක්ෂණය කියන දේත් රට තුළ මීට වඩා ව්‍යාප්ත විය යුතුයි. ඒ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙත තමන්ට පවතින අවදානම් බෙදා ගැනීමක් සිදුකළ හැකියි. එය මූල්‍ය ආයතනවලටත් යම් සහායක් වේවි.”
මෙම කාරණාද ඇතුළුව අනාගතයේදී ඇති විය හැකි කම්පනවලට මුහුණ දීම සඳහා අවශ්‍ය ජාතික ස්වාරක්ෂක ගොඩනැගීමට නම් ජාතික මට්ටමේ සැලැස්මක් ඉදිරිපත් විය යුතුව තිබෙන බවත් එම මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd