2025 මූල්‍ය වර්ෂයේදී සමූහයේ බදු පසු ලාබය පෙර වසරට සාපේක්ෂව සියයට 221 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 10 ක් වෙලා
සමූහයේ මෙහෙයුම් ලාබය රුපියල් බිලියන 14.2 ක්. එය පෙර වසරට සාපේක්ෂව සියයට 27 ක වර්ධනයක්
2025 දෙසැම්බර් 31 වන දිනයෙන් අවසන් වූ සම්පූර්ණ වර්ෂය සඳහා සැලකිය යුතු පිරිවැය ඉතිරියක් වාර්තා කරමින් සහ සියලු ප්‍රධාන අංශවල ස්ථාවර ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරමින්, ලාබය සැලකිය යුතු ලෙස වර්ධනය කරගනීමට SLT සමූහය සමත් වී තිබේ. අතිශය සැලකිලිමත් පිරිවැය කළමනාකරණය, මූල්‍ය පහසුකම් වියදම් අවම කරගැනීම සහ ක්‍රමෝපායික මෙහෙයුම් වැඩිදියුණු කිරීම මෙම ශක්තිමත් කාර්යසාධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
2025 මූල්‍ය වර්ෂය ශක්තිමත් ලෙස අවසන් කරමින් ලාබදායීත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගැනීමට SLT සමූහය සමත් විය. සමූහයේ බදු පසු ලාබය පෙර වසරට සාපේක්ෂව සියයට 221 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 10 ක් වූ අතර එය 2024 මූල්‍ය වර්ෂයේ වාර්තා වූයේ රුපියල් බිලියන 3.1 ක් වශයෙනි. පිරිවැය අවම කිරීම, මූල්‍ය පහසුකම් වියදම් අඩු කරගැනීම සහ ස්ථාවර හා ජංගම දුරකථන සේවා අංශවල ස්ථාවර ආදායම් වර්ධනය මීට හේතු විය.
සමූහයේ ආදායම සියයට 3 කින් වර්ධනය වී රුපියල් බිලියන 114.2 ක් ලෙස වාර්තා වූ අතර, එහිදී SLT PLC සියයට 2 ක වර්ධනයක් සහ Mobitel සියයට 5 ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබේ. මෙහෙයුම් වියදම් (ක්ෂයවීම් සහ ක්‍රමක්ෂය කිරීම් හැර) රුපියල් බිලියන 72 ක් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) සියයට 5.5 කින් වර්ධනය වී රුපියල් බිලියන 42.2ක් ලෙසද, මෙහෙයුම් ලාබය සියයට 26.9 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 14.2 ක් ලෙසද වාර්තා විය.
ණය අවම කරගැනීම සහ පොලී අනුපාත පහළ යාම හේතුවෙන් මූල්‍ය පහසුකම් වියදම් අඛණ්ඩව පහත වැටුණු අතර, එමගින් බදු පෙර ලාබය සියයට 88 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 11.3 ක් විය. ප්‍රධාන වශයෙන් SLT PLC හි මූල්‍ය පහසුකම් වියදම් අවම වීම හේතුවෙන් සමූහයේ පොලී පිරිවැය සියයට 21 කින් අඩු වී රුපියල් මිලියන 7,054 ක් ලෙස වාර්තා වී ඇත.
මෙම සාධනීය ප්‍රතිඵල සම්බන්ධයෙන් SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. ”2025 මූල්‍ය වර්ෂය සඳහා SLT සමූහයේ මූල්‍ය කාර්යසාධනය අපගේ ක්‍රමෝපායික දිශානතියේ සාර්ථකත්වය සහ අපගේ මෙහෙයුම්වල ශක්තිය මැනැවින් පිළිබිඹු කරනවා. දැඩි පිරිවැය පාලනය සහ විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණයෙන්, අපගේ ස්ථාවර හා ජංගම යන ව්‍යාපාර අංශ දෙකම එකවර දියුණුව කරා රැගෙන යන අතරම, ලාබදායීත්වයේ සැලකිය යුතු වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකි වුණා. මෙම කාර්යසාධනය, 2025 වසරේදී වාර්තා වූ යහපත් ප්‍රවණතා තුළින් තිරසාර දීර්ඝකාලීන වර්ධනයක් ළඟා කරගනිමින් අපගේ හවුල්කරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කරනවා. අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය රැඳවීම වෙනුවෙන් අපගේ වටිනා පාරිභෝගිකයන් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ටත්, අභියෝගවලට ශක්තිමත් ලෙස මුහුණ දෙමින් පෙන්නුම් කළ විශිෂ්ට කැපවීම වෙනුවෙන් අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මා හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මෑතකදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ මෙම කැපවීම ඉතා හොඳින් පිළිබිඹු වුණා. එම අවස්ථාවේදී අපගේ කණ්ඩායම් දැඩි ලෙස හානි වූ ජාල යටිතල පහසුකම් යථා තත්වයට පත් කිරීමට සහ අත්‍යවශ්‍ය දුරකථන සන්නිවේදන සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට වෙහෙස නොබලා කටයුතු කළා. මේ ශක්තිමත් බව, සම්බන්ධතා පහසුකම් ශක්තිමත් කරමින් අපගේ සේවා ලබන ප්‍රජාව වෙනුවෙන් අර්ථවත් මෙහෙවරක් ඉටුකිරීම සඳහා අප දරන උත්සාහය තුළ අපට අඛණ්ඩව මඟපෙන්වාවි.”
2025 මූල්‍ය වර්ෂය සඳහා, SLT PLC රුපියල් බිලියන 73 ක ආදායමක් වාර්තා කළ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 2ක වර්ධනයකි. පාරිභෝගිකයන් ෆයිබර් තාක්ෂණය වෙත වැඩි වැඩියෙන් යොමු වීම හේතුවෙන් බ්‍රෝඞ්බෑන්ඞ් ආදායම අඛණ්ඩව ඉහළ ගිය අතර, ජාලකරණය, අන්තර්ජාලය සහ කළමනාකරණය කරනු ලබන සේවා ආදියෙහි ප්‍රගතිය හේතුවෙන් ආයතනික සේවා අංශයද යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. රාජ්‍ය සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශද වසර තුළ ශක්තිමත් වර්ධනයක් වාර්තා කර ඇත.
2025 මූල්‍ය වර්ෂය සඳහා Mobitel විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කර තිබේ. සමාගම රුපියල් බිලියන 3.1 ක බදු පසු ලාබයක් වාර්තා කළ අතර එය 2024 මූල්‍ය වර්ෂයේ වාර්තා වූ රුපියල් මිලියන 139 ට සාපේක්ෂව සියයට 2,123 ක වර්ධනයකි. ආදායම සියයට 5 කින් වර්ධනය වී රුපියල් බිලියන 47.9 ක් වූ අතර, අන්තර්ජාල සේවා භාවිතය සහ පාරිභෝගික පදනම ඉහළ යාම හේතුවෙන් අන්තර්ජාල සේවා ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු විය. අගය එකතු කළ සේවා (VAS), රෝමිං, උපාංග අලෙවිය සහ mCash හා ව්‍යවසාය විසඳුම්ද මෙම වර්ධනයට දායක වී තිබේ. පාරිභෝගික-කේන්ද්‍රීය දීමනා හඳුන්වාදීම සහ ජාල අත්දැකීම වැඩිදියුණු කිරීමෙන් මෙම ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් විය. මෙහෙයුම් වියදම් (ක්ෂයවීම් සහ ක්‍රමක්ෂය කිරීම හැර) මනා පාලනයකට යටත්ව සියයට 2කින් පමණක් වර්ධනය වීම, සමාගමේ සියලු අංශයන්හි පිරිවැය ඵලදායී ලෙස ප්‍රශස්තකරණය කර ඇති බවට මනා සාක්ෂියකි.
මෙහෙයුම් ඉපැයුම් ලාබය (EBITDA) සියයට 11 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 15.1 ක් වූ අතර, මෙහෙයුම් ලාබය සියයට 18 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.4 ක් විය. Mobitel සමාගම 2024 වසරේදී භාවිතා කළ ආදායම මත පදනම් වූ බදුකරණ ක්‍රමවේදය වෙනුවට 2025 වසරේදී ලාබ මත පදනම් වූ බදුකරණ ක්‍රමවේදයකට මාරු වීමත් සමඟ බදු ක්‍රමය සාමාන්‍යකරණය වීම මෙන්ම, මෑතකාලීන ආයෝජනවලින් පළමු වසරේ දීමනා ලැබීම යන සාධකද මෙබඳු ඉහළ බදු පසු ලාබයක් වාර්තා කිරීමට උපකාරී වී තිබේ. 2025 මූල්‍ය වර්ෂයේ 4 වන කාර්තුවේදී Mobitel රුපියල් බිලියන 12.5 ක ආදායමක් වාර්තා කළ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 1ක වර්ධනයකි. 2025 මූල්‍ය වර්ෂයේ 4 වන කාර්තුවට ඇතුළත් වූ බදු ලාබය හේතුවෙන් සමාගමේ බදු පසු ලාබය සියයට 14 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.4ක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd