Prime සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් සමාගම වන Prime Constructions (පුද්.) සමාගම ISO 9001:2015 සහතිකකරණය හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය සහ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති අනුගමනය කිරීම හේතුවෙන්  Prime Constructions වෙත මෙම සහතිකකරණය හිමි විය. 
Prime Constructions සමාගම ව්‍යාපෘතියක මූලික සැලසුම් මට්ටමේ සිට අවසානය දක්වා සෑම අදියරකදීම නිවැරදි හා සාර්ථක ක්‍රමවේද අනුගමනය කරමින් දෝෂ අවම කිරීම, මිල අධික නිවැරදි කිරීම් අවම කිරීම සහ විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීම සඳහා කැප වී සිටින බවට මෙම සහතිකකරණය සාක්ෂි දරයි. මේ හේතුවෙන් සමාගම සෑම ව්‍යාපෘතියකදීම ජාත්‍යන්තරව පිළිගත් කළමනාකරණ ප්‍රමිති අනුගමනය කරන බවට ගනුදෙනුකරුවන් තුළ ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වේ. එමෙන්ම එය ලංකාවේ වඩාත්ම විශ්වාසනීය සහ ඉදිරිගාමී චින්තනයක් සහිත දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය සතු පිළිගැනීම තවදුරටත් ශක්තිමත් කරන ජයග්‍රහණයකි. 
Prime සමූහය සෑම ව්‍යාපෘතියක්ම නියමිත කාලසීමාව සහ අදාළ පිරිවැය සීමාව තුළ ඉහළම ප්‍රමිතියෙන් යුක්තව අවසන් කරන බවට පාරිභෝගිකයන් තුළ පවතින විශ්වාසය මෙමගින් තවදුරටත් ශක්තිමත් වනු ඇත. අමුද්‍රව්‍ය සපයා ගැනීම, අධීක්ෂණය සහ ඉදිකිරීම් සන්ධිස්ථාන සම්බන්ධ තොරතුරු පහසුවෙන් සොයාගැනීමට උපකාරී වන විනිවිදභාවයෙන් යුත් සන්නිවේදන ක්‍රියාවලියක් සමාගම විසින් පවත්වාගෙන යනු ලැබීම, නිවාස හිමියන්ට ලැබෙන තවත් වාසියකි. මේ ආකාරයට පාරිභෝගික තෘප්තිය තම මෙහෙයුම්වල අනිවාර්ය අංගයක් බවට පත්කර ගනිමින්, පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා කඩිනමින් හා කාර්යක්ෂම ලෙස ඉටුකිරීම සඳහා සමාගම දරන උත්සාහය සපුරාම සාර්ථක වී ඇති බව මෙම සහතිකකරණයෙන් තහවුරු වේ. 
ආයෝජකයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් සම්බන්ධයෙන් ගත් විට, ISO 9001:2015 සහතිකකරණය යනු Prime Constructions සමාගමේ ශක්තිමත් ආයතනික පාලනය, නියාමන අවශ්‍යතා හා ගෝලීය ප්‍රමිති මට්ටම් අනුගමනය කිරීම සහ අඛණ්ඩව වැඩිදියුණු කිරීම් සිදුකිරීම යන සාධනීය ලක්ෂණ හඟවන සාධකයකි. මෙම සහතිකකරණයෙන් පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ යන අතරම, මෙහෙයුම් දෝෂ සහ සම්පත් අපතේ යාම අවම වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස තරගකාරී මිලගණන් ඉදිරිපත් කිරීමට මෙන්ම අනපේක්ෂිත පිරිවැය ඇති වීම වළක්වා ගැනීමටද සමාගමට හැකියාව ලැබේ. 
”‍ගුණාත්මකභාවය, විනිවිදභාවය සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම සඳහා සමාගම දක්වන කැපවීම ISO 9001:2015 සහතිකකරණය හිමි වීමෙන් මැනැවින් පිළිබිඹු වනවා. මෙය අපගේ ක්‍රියාවලීන්හි කාර්යක්ෂම බව තහවුරු කරන අතරම, සෑම දෙයක්ම නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට අප කැප වී සිටින බව පැහැදිලිව තහවුරු කරන ජයග්‍රහණයක්. සමාගමක් ලෙස, විධිමත් හා දූරදර්ශී ලෙස සංකීර්ණ ව්‍යාපෘති කළමනාකරණය කිරීමට අපට හැකියාව තිබෙනවා. මෙය ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කිරීමේදී සහ ගනුදෙනුකරුවන් හා ව්‍යාපාරික හවුල්කරුවන් සමග පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේදී අත්‍යවශ්‍ය සාධකයක්.” Prime Constructions  සමාගමේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු සුජිත් රූපසිංහ මහතා පැවසීය.