ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) මගින් මෙරට ඉතිහාසයේ පළමුවරට දියත් කර ඇති නව්‍යකරණ වවුචර වැඩසටහන (Innovation Voucher Programme) සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇතැයි පැවසේ. ඒ අනුව ලබන අප්‍රේල් 30 වැනිදා දක්වා එහි පළමු කාණ්ඩය සඳහා මෙරට අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතී. 

සිටින ස්ටාට්-අප් (Start-ups), සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙන්ම විශ්වවිද්‍යාල පර්‌යේෂකයන්ගේ නව අදහස් වාණිජකරණයට ලක් කරමින් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීම සඳහා පවතින බාධා ඉවත් කිරීමට අවශ්‍ය මූල්‍යමය සහාය ලබාදීම අරමුණු කරගනිමින් මෙම නව්‍යකරණ වවුචර වැඩසටහන හඳුන්වාදී තිබේ.

ඒ අනුව මෙම වවුචර Catalyst, Commercialization සහ University ලෙස කාණ්ඩ තුනක් යටතේ නම් කර ඇති අතර, ඉන් Catalyst කාණ්ඩය වෙත රුපියල් ලක්ෂ 2ක් දක්වාත්, Commercialization කාණ්ඩය යටතේ රුපියල් ලක්ෂ පහක් දක්වාත්, University කාණ්ඩය යටතේ රුපියල් ලක්ෂ පහක් දක්වාත් මුදල් ලබාදීම සිදු කෙරේ. 

මේ සම්බන්ධයෙන් ලංකාදීප FT  වෙත අදහස් දැක්වූ ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ ප්‍රධාන නව්‍යකරණ නිලධාරී ආචාර්ය මුදිත සෙනරත් යාපා මහතා, “මේ හරහා යම් නව්‍යකරණ අදහසක් කොළ කැබැල්ලකට සීමා නොවී එය වෙළෙඳ පොළ වෙත රැගෙන ඒමේ විශ්වාසය ඇති කරවනවා.” යනුවෙන් සඳහන් කළේය. මේ පිළිබඳ වැඩි විස්තර  www.nia.gov.lk වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.