ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ ආහාර නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන CBL සමූහය, සූපශාස්ත්‍ර කලාවේ විශිෂ්ටත්වය, නිර්මාණශීලිත්වය සහ ලාංකීය දක්ෂතා ඇගයීමට ලක් කෙරෙන MasterChef Sri Lanka රියැලිටි වැඩසටහන සඳහා සිය ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. 

මෙම හවුල්කාරීත්වයේ කොටසක් ලෙස, CBL සමූහයේ ප්‍රමුඛතම ඉවුම් පිහුම් සන්නාමය වන Sera, කුළුබඩු සහ ලු‍ණු වල සිට පොල් කිරි හා නූඩ්ල්ස් දක්වා පුළුල් පරාසයක විහිදී ගිය නිෂ්පාදන පෙළක් MasterChef මුළුතැන්ගේ වෙත පිරිනමමින්, ගුණාත්මකභාවය, විවිධ කාර්යයන් රැසක් ඉටු කිරීමේ හැකියාව සහ විශ්වාසනීයත්වය ගෙන එමින්, මෙම වැඩසටහනේ නිල සූපශාස්ත්‍ර සහකරු ලෙස කටයුතු කරයි. නව්‍යත්වයට සහ නිර්මාණශීලීත්වයට සහාය ලබා දෙමින්, ලංකාවේ විශාලතම බිස්කට් නිෂ්පාදකයා මෙන්ම ලංකාවේ අංක එකේ බිස්කට් සන්නාමය වන මන්චී, දේශීයව සහ ලොව පුරා රස විඳින විවිධ වූ බිස්කට් වර්ග පරාසයක් පිරිනමමින්, මෙම වැඩසටහනට නිල බිස්කට් සහකරු ලෙස ඉදිරිපත් වේ.

 එමෙන්ම, ශ්‍රී ලංකාවේ අංක එකේ චොකලට් සන්නාමය වන රිට්ස්බරි (Ritzbury Professional) නිල චොකලට් නිෂ්පාදකයා ලෙස මේ සමගින් එක්වන අතර, වෘත්තීය මට්ටමේ චොකලට් විශේෂඥතාව තුළින් අතුරුපස රස ගැන්වීමේ ශිල්පීය ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා උසස් තත්වයෙන් යුත් කොකෝ බටර් චොකලට්, චොකලට් සංයෝග හා පිරවුම් සහ අලංකාරණ සැරසිලි ඇතුළත් නිර්මාණ හඳුන්වා දෙමින්, MasterChef තරගකරුවන්ගේ ඉවුම් පිහුම් අත්දැකීම ඉහළ නැංවීම සඳහා උසස් තත්වයේ, විවිධ නිෂ්පාදන පෙළක් සපයා දෙමින් CBL සමූහයේ ශක්තිය විදහා දක්වයි.

MasterChef වැඩසටහන, ගෝලීය වශයෙන් ලොව වඩාත් සාර්ථකම ඉවුම් පිහුම් රූපවාහිනී රියැලිටි වැඩසටහන් ආකෘතියක් ලෙස පිළිගනු ලබන අතර, එය ගිනස් ලෝක වාර්තාවකටද හිමිකම් කියමින්, රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක මිලියන 300 කට අධික ප්‍රේක්ෂක අවධානයක් දිනා ගෙන ඇත. 

බිස්කට්, චොකලට්, ධාන්‍යමය ආහාර, පෝෂ්‍යදායී ආහාර සහ ස්වාභාවික ආහාර මෙන්ම කුළුබඩු, ලු‍ණු සහ පොල් කිරි ඇතුළු ප්‍රධාන ඉවුම් පිහුම් නිෂ්පාදන ඇතුළු, CBL සමූහයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවෙන් ඔබ්බට, ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා ව්‍යාප්ත වී ඇති අතර ඝානාව, ඉන්දියාව සහ මේ වන විට ඉන්දුනීසියාව යන රටවල ද ක්‍රියාත්මක වී තිබේ. ලෝකයේ රටවල් 65 කට වැඩි සංඛ්‍යාවක ශක්තිමත් අපනයන පැවැත්මක් සමගින්, උසස් තත්වයෙන් යුත් ලාංකීය ආහාර නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කරමින්, ලංකේය නාමය තවදුරටත් ඉහළින් ඔසවා තැබීම සඳහා CBL සමූහය දක්වන කැපවීම මේ තුළින් මනාව පෙන්නුම් කෙරේ.

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් CBL සමූහයේ, සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ශියා වික්‍රමසිංහ මහත්මිය මෙසේ පැවසුවාය.

“ආහාර තමයි අපගේ පැවැත්මේ කේන්ද්‍රය වන්නේ. CBL සමූහයේ අපි වැඩි අවධානයක් යොමු කරන්නේ, උසස් තත්වයෙන් යුත් ආහාර සන්නාම තැනීමට සහ ලංකාවේ හොඳම ආහාර නිෂ්පාදන ලෝකය වෙත රැගෙන යාමටයි. දක්ෂ වෘත්තිකයන්ට තෝතැන්නක් වන අප CBL සමූහය, හැමදාම විශ්වාස කරන දෙයක් තමයි, දක්ෂයන්ට ඔවුන්ගේ දක්ෂතා සහ හැකියාවන් සොයා ගැනීමටත්, විශිෂ්ටත්වය කරා පිය නැගීමටත් උපකාර වන පරිසරය, වේදිකා හෝ මාර්ගයන් නිර්මාණය කළ යුතු බව. ඒ විශ්වාසය සමගයි MasterChef Sri Lanka බලගැන්වීමට අපි එකතු වන්නේ. CBL සමූහය ලංකාවේ නිෂ්පාදිත අපගේ නිෂ්පාදන සමූහය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන යනවා වගේම, MasterChef සහයෝගීතාව හරහා, අපට ලාංකීය විශිෂ්ට රස සහ අපගේ දක්ෂ සූපවේදීන් ජාත්‍යන්තරයට ගෙන යාමට හැකි වෙනවා.“

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින්, Reality TV Productions හි ව්‍යාපෘති කළමනාකරු, සම-නිර්මාතෘ සහ MasterChef Sri Lanka වැඩසටහනේ නිෂ්පාදක අජිත් ගම්ලත් මෙසේ පැවසීය. 

‘’MasterChef Sri Lanka හි ප්‍රධාන අනුග්‍රාහකයකු ලෙස CBL සමූහය එක් වීම පිළිබඳව අපි සතුටු වෙනවා. මන්චී, සේරා සහ Ritzbury Professional වැනි සිය නාම ඇතුළත් විශ්වසනීය සන්නාම සමගින්, CBL සමූහය ලංකාවේ සූපශාස්ත්‍ර ගමන් මග පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙනවා.’’