

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සමස්ත සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය SLIIT ආයතනය සමගින් පසුගියදා අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීය. මෙම ගිවිසුම හරහා SLIIT, MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියෙ හි උසස් අධ්‍යාපන සහකරු බවට පත්වනු ඇත. තවද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ අධ්‍යාපනය සහ ඉහළ මට්ටමේ ක්‍රීඩා වෘත්තීන් යන අංශ දෙකම දියුණු කළ යුතුය යන අදහසට සහාය වීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.
මෙම අවබෝධතා ගිවිසුම 2025 දෙසැම්බර් 30 වැනි දින MAS Holdings හි නවෝත්පාදන අංශය වන Twinery හිදී අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහ විශ්වවිද්‍යාලවල අධ්‍යපනඥයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම ගිවිසුමට MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය වෙනුවෙන් MAS Holdings හි සම-නිර්මාතෘ සහ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන් සහ SLIIT හි උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරුන් විසින් අත්සන් තබන ලදී. SLIIT හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති සහ ප්‍රධානී මහාචාර්ය නිමල් රාජපක්ෂ මෙන්ම MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමියේ (සහතිකලත්) අධ්‍යක්ෂවරුන් වන රුවන් කෑරගල සහ ඉසුරු ගුණරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම හවුල්කාරිත්වය යටතේ, SLIIT ආයතනය විසින් MAS මලල ක්‍රීඩා පුහුණු ඇකඩමිය සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරි වසර අටක කාලය සඳහා වාර්ෂිකව පූර්ණ අරමුදල් සහිත උපාධි ශිෂ්‍යත්ව පහක් පිරිනමනු ඇත. මෙමගින් තරුණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් අධ්‍යාපනය සම්පූර්ණ කරන අතරම, ඔවුන්ගේ ඉහළ මට්ටමේ පුහුණුව හා අඛණ්ඩව තරග කිරීමට ඉඩ සැලසේ.
මෙම හවුල්කාරිත්වය දැනටමත් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන තිබේ. ඒ අනුව ඇකඩමියේ එක් ක්‍රීඩකයකු SLIIT හි බඳවා ගැනීම් සඳහා ලියාපදිංචි වී ඇති අතර, ඉදිරි වසරවලදී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට උපකාර කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ ඉහළ දක්ෂතාවක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන අධ්‍යාපනය සහ ක්‍රීඩාව තෝරා ගැනීමේ අවශ්‍යතාවය විසඳීමට උපකාරී වේ.
COMMENTS