• සමාගම ණය මත සිදු කරන යැපීම සහ අලාභ ඊට හේතුව බව කියයි 

භානුක අමරසිංහ 


මෙරට ක්‍රියාත්මක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) බ්‍රවුන්ස් සහ සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම ඍණාත්මක ඉදිරි දැක්මක් සහිතව BBB මට්ටමේම පවත්වා ගන්නා බව පවසයි. 2024 නොවැම්බර් මාසයේදී මෙය ස්ථාවර ඉදිරි දැක්මක් සහිත BBB ශ්‍රේණිගත කිරිමක් විය. 

බ්‍රවුන්ස් සමූහයෙහි මව් සමාගම වන බ්‍රවුන් සහ සමාගම අද වන විට විවිධාංගීකරණය වූ සමාගම් හයක් ලෙස බෙදී පවතින බවත්, මෙම ශ්‍රේණිගත කිරීම මගින් සමාගමේ ශක්තිමත් හිමිකාරීත්ව සැකැස්ම පිළිබිඹු වන බවත් LRA පවසයි. කෙසේ වෙතත් මෙලෙස ලබාදුන් ඍණාත්මක ඉදිරි දැක්ම මගින් බ්‍රවුන්ස් සහ සමාගම ණය සම්බන්ධයෙන් පවතිවන සැලකිය යුතු යැපීම සහ ප්‍රධාන ව්‍යාපාර අංශ තුළ තවදුරටත් පවතින අලාභ තත්වය පිළිබිඹු කරන බවත් LRA පවසයි. 

“ඒ අනුව හඳුනාගත් වත්කම් අලෙවි කිරිම හරහා ලැබෙන මුදල් යොදාගෙන එම ණය මට්ටම් අඩු කරගැනීම කළ හැකිය. ඒ වගේම ශක්තිමත් මුදල් ගලා ඒමක් උත්පාදනය කිරීම ණය සේවාකරණය සහ තිරසාර ශේණියක් ලබා ගැනීමටත් වැදගත්.“

මේ අතර සමාගමේ කොටස් හිමිකාරීත්වයෙන් සියයට 83.42ක බහුතරයක් LOLC හෝල්ඩිංග්ස් සතුව පවතින බවත්, එම ශක්තිමත් බව හරහා ලැබෙන සහාය සමාගමේ ශ්‍රේණිය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමට වැදගත් බවත් LRA පවසයි.