ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සමඟ එක්ව ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සහතිකයක් වන NVQ සුදුසුකම් සපුරාගත්  පින්තාරු ශිල්පීන් 100 කට වැඩි පිරිසක් ඇගයීමට ලක් කරමින් JAT Holdings PLC ආයතනය 6 වන පින්තාරු අභිමන් NVQ සහතික පිරිනැමීමේ උත්සවය  පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 

ඒ අනුව ජාත්‍යන්තර පිළිගැනීමක් NVQ සහතිකලත් පින්තාරු   ශිල්පීන් 800 දෙනෙකු මේ වන විට දේශීය වෙළඳපොළට දායාද කර ඇත. මෙම වැඩසටහන හරහා පින්තාරු ශිල්පීන් දිරිමත් කිරීම, ඔවුන්ගේ නිපුණතා වර්ධනය කිරීම සහ ආර්ථික මට්ටම ඉහළ නැංවීම JAT Holdings සමාගමේ ප්‍රධාන අරමුණ වී  ඇත. 

වෘත්තිකයන්ගේ දෛනික සේවා කාලය උපරිමයෙන් කළමනාකරණය කරමින්, මාස හයක NVQ පාඨමාලාව කෙටි කාලීන දැඩි ඇගයීම් ක්‍රියාවලියක් යටතේ වඩාත් කාර්යක්ෂම හා ප්‍රායෝගික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට JAT Holdings සහ NAITA ආයතනය සමත්ව සිටී.  

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, මෙම සහතිකකරණ ක්‍රියාවලිය සඳහා වැයවන සම්පූර්ණ පිරිවැය JAT Holdings සමාගම විසින් දරනු ලැබීමයි. ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහිත පලපුරුදු සහ දක්ෂ පින්තාරු ශිල්පීන් වෙනුවෙන්ම සකස් කළ මෙම වැඩසටහන මගින්, ඔවුන්ට කිසිදු මූල්‍ය පිරිවැයකින් තොරව ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පිළිගැනීමක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.