කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ IFC හි මූල්‍ය ආයතන සමූහයේ ආසියා - පැසිෆික් කලාප කර්මාන්ත සඳහා 
අධ්‍යක්ෂ ඇලන් ෆෝලෙමු මහතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවේදී


 

ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා විශාලතම ණය දෙන්නා ලෙස තම ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමග එක්ව, රට පුරා විහිදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ණය දීමේ ධාරිතාව කොමර්ෂල් බැංකුව දැන් තවත් සැලකිය යුතු ලෙස පුළුල් කරගෙන ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කරන නව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය සඳහා IFC වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක (රුපියල් බිලියන 18.5 කට සමාන) අවදානම් ආවරණයක් සපයනු ලබයි. ණය අවදානමෙන් සියයට 50ක් උපකල්පනය කිරීමෙන් බැංකුවට තම ණය දීමේ ධාරිතාව තිරසාර ලෙස පරිමාණනය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුඩා හා මධ්‍ය පරිමාණ ණය දෙන්නා ලෙස තම ස්ථාවරය ශක්තිමත් කර ගැනීමට අවකාශය ලබා දෙයි. මෙම ගිවිසුම ඇති කර ගන්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන අංශ හරහා ගොඩනැගෙන වර්ධන අවස්ථා ප්‍රාග්ධනීකරණය කරන අවධියකය.

මෙම අවදානම බෙදාගැනීමේ පහසුකම (Risk Sharing Facility) හරහා කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර හා කෘෂි ව්‍යාපාර සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත. මෙම ඉලක්කගත ප්‍රවේශය මූල්‍ය අන්තර්ගතකරණය සෘජුවම දිරිමත් කරන අතර ශ්‍රී ලංකාවේ දිගුකාලීන ඔරොත්තුදීමේ හැකියාව සඳහා මෙන්ම ආර්ථික ව්‍යාප්තිය සඳහා ද අත්‍යවශ්‍ය වන නිෂ්පාදන අංශ ශක්තිමත් කරන බව බැංකුව පැවසීය.

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: 

IFC සමග දියත් කළ මෙම මූල්‍ය පහසුකම හරහා, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය වෙනුවෙන් කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන කැපවීම මත ඇති විශ්වාසය තවත් බලවත් කරයි. මෙරට අර්බුදකාරී තත්වයෙන් පසු යථා තත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත ගොඩනැංවීමට, ඔවුන්ට අනුවර්තනය වීමට සහ වර්ධනය වීමට, ණය ලබාගැනීම අත්‍යවශ්‍ය වී ඇත. 

මෙම හවුල්කාරීත්වයෙන් අපගේ ණය දීමේ ධාරිතාව වගකීමෙන් යුතුව පුළුල් කිරීමේ හැකියාව ලබාදෙන අතර සියලු දෙනා අන්තර්ගත කරගත හැකි, නොසැලෙන ආර්ථික වර්ධනයකට මග සාදන කාන්තාවන් ප්‍රමුඛ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා කෘෂි ව්‍යාපාරික අංශය වැනි අංශවලට ප්‍රමුඛතාව ලබා දෙයි.

IFC හි මූල්‍ය ආයතන සමූහයේ ආසියා - පැසිෆික් කලාප කර්මාන්ත සඳහා අධ්‍යක්ෂ ඇලන් ෆෝලෙමු මහතා පැවසුවේ මෙම හවුල්කාරීත්වය මූල්‍ය පහසුකම් ලබාගැනීම අත්‍යවශ්‍ය වන අංශවලට සහායවීමට IFC හි කැපවීම අවධාරණය කරන බවයි. 

“සැබෑ ආර්ථික ප්‍රගතියක් ඇති වන්නේ ව්‍යවසායකයන්ට තමන් සතු සම්පත්, සමෘද්ධිමත් ව්‍යාපාර බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිය ඔවුන් සතුව ඇති විටය. කොමර්ෂල් බැංකුව සමග ඇති කරගත් මෙම සහයෝගීතාව හරහා, ශ්‍රී ලංකාව පුරා ඇති කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාව හා මූල්‍ය හැකියාව අතර ඇති පරතරය පියවා ගැනීමට මෙන්ම ඔවුන්ගේ මූල්‍ය ධාරිතාව පුළුල් කරගැනීමට ඉලක්කගත විසඳුම් ලබාදීම අපගේ අරමුණයි. 

අපගේ ඉලක්කය වන්නේ රැළිති බලපෑමක්, නැතහොත් ප්‍රතිඵල රැල්ලක් ඇති කිරීමයි. තනි ව්‍යාපාර සාර්ථක වූ විට රැකියා සම්පාදනය කරමින්, ඒ හරහා පවුල් බොහෝමයකට මූල්‍ය සහයෝගය ලැබේ. එවිට වඩාත් අන්තර්ගතකරණය වූ, සියලු දෙනාටම යහපත් අනාගතයක් ගොඩනැගෙයි.