නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

ආචාර්ය හාන්ස් විජේසූරිය

  • රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යෑම අරමුණයි 
  • අයවැයෙන් රු.බි 2ක්, ලෝක බැංකුවෙන් ඩො.මි. 50ක්, ADB වෙතින් ඩො.මි. 75ක් 
  • සියයට 100ක් රජයේ හිමිකාරීත්වය සහිත රාජ්‍ය ව්‍යවසායක් 
  • GOVTECH නව බඳවා ගැනීම් 150 කට ඉහළ මට්ටමේ වැටුප් 
  • ලාබ ලබන ආයතනයක් නොව වියදම් ආවරණය කරගැනීම අපේක්ෂාවයි 
  • ඩිජිටල් හැඳුනුම්පත, සුපර් ඇප් වැඩසටහන සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මූලික වගකීම් අතර 

භානුක අමරසිංහ 


ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඈවර කරමින් අලු‍තින් පිහිටුවන GOVTECH ආයතනයේ මෙහෙයුම් කටයුතු තවත් මාස තුනත්, හයත් අතර කාලයක් තුළදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. 

2026 වසරේ අයවැය හරහා එම අමාත්‍යාංශය වෙත වෙන් කෙරුණු රුපියල් බිලියන 2ක ප්‍රතිපාදන සහ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබා දෙන මූල්‍යමය පහසුකම් යටතේ මෙම GOVTECH  ආයතනය ස්ථාපිත කිරීම සැලසුම වී තිබේ. 

GOVTECH  ආයතනයේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගියදා කොළඹ ICTA ආයතනයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි. 

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න සහ ජනාධිපතිවරයාගේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරු සහභාගි වී සිටියහ. 

 “වර්තමාන රජයේ ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් සකස් කෙරෙන ඩිජිටල් ආර්ථික අධිකාරිය යටතේ ඉදිරිපත් වන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම GOVTECH තාක්ෂණික ආයතනය ස්ථාපිත කෙරෙනවා. දැනට ක්‍රියාත්මක ICTA ආයතනය ඈවර කරමින් මේ කටයුතු සිදු වේවි. රටට ඔබින ඩිජිටල් යටිතල පහසුකම් නිර්මාණය මෙහි අරමුණයි.“ යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

දැනටමත් නව ආයතනය සඳහා ඉහළ මට්ටමේ තනතුරු ඇතුළු තාක්ෂණික වෘත්තිකයන් 150 දෙනකු බඳවා ගැනීම සඳහා ඉල්ලු‍ම්පත්‍ර කැඳවා ඇති බවත්, ඊට හොඳ ප්‍රතිචාර ලැබෙන බවත් අමාත්‍යවරයා පැවසීය. 

 “අපි දන්නවා තොරතුරු තාක්ෂණ අංශය කියන්නේ ඉහළ වැටුප් හිමිවන ක්ෂේත්‍රයක්. ඒ මට්ටමේ වැටුප් ලබා දී අපි මේ පිරිස බඳවා ගන්නවා. අපිට ඕනේ හොඳ දක්ෂ තාක්ෂණික කණ්ඩායමක්.” 

මේ අතර ඈවර කරන ICTA ආයතනය තුළත් සේවකයන් 50 දෙනකු සිටින බවත්, ඔවුන්ද සුදුසුකම් අනුව ඉදිරියේදී GOVTECH වෙත බඳවා ගැනීම සිදු කරන බවත් මෙහිදී අනාවරණය විය. 

 “තවත් මාස තුනත්, හයත් අතර කාලයකදී GOVTECH නිල වශයෙන් ආරම්භ කරන්න අපිට හැකි වේවි. මෙය රජයේ පූර්ණ හිමිකාරීත්වය සහිත රාජ්‍ය ව්‍යවසායක් (SOE) විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. 

රජයේ ඩිජිටල් වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය උපදේශන සේවා. වේදිකා පහසුකම් සැපයීම, ධාරිතා වර්ධනය යනාදිය සිදු කරමින් ඒ කටයුතු සාර්ථක වන බවට වගබලා ගැනීම මේ හරහා සිදු වේවි. මෘදුකාංග නිර්මාණය, වැඩසටහන් නිර්මාණය මෙහි සිදු වෙන්නේ නෑ. “ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

මූලික අදියර යටතේ දැනට ICTA පිහිටා ඇති ගොඩනැගිල්ල තුළ නව GOVTECH ආයතනය පිහිටුවන බවත්, ඉදිරියේදී අමාත්‍යාංශයේ තීරණයට අනුව එය වඩාත් පහසු ස්ථානයක ස්ථාපිත කිරිමක් සිදු වනු ඇතැයිද සඳහන් විය. 

 “2026 අයවැයෙන් වෙන් වුණු රුපියල් බිලියන 2ක ප්‍රතිපාදන සහ ඉදිරි වසර හතර තුළ ලෝක බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලියන 50ක් වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් හිමිවන ඩොලර් මිලියන 75ක අරමුදල් සමගින් මෙම කටයුතු සිදු වේවි.“ 

මේ අතර GOVTECH ආයතනය ලාබ ලබන ආයතනයක් නොවන බවත්, එය සිදුකරන මෙහෙයුම් හරහා ලැබෙන ආදායමෙන් වියදම් ආවරණය කරගැනීමට අපේක්ෂා කරන බව මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සඳහන් කළේය. 

 “ඩිජිටල් හැඳුනුම්පත් වැඩසටහන, රජයේ සුපර් ඇප් එක වගේම කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගෙන සිදු කරන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම GOVTECH ආයතනයේ මූලික වගකීමක් වෙනවා.” 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආචාර්ය විජේසූරිය GOVTECH ආයතනය ස්ථාපිත කිරීමට සමගාමීව, දැනට රජයේ කටයුතු සඳහා භාවිත කරන ක්ලවුඩ් වේදිකාව වන Local Government Cloud 2+ (LGC2+) සිට LGC 3 දක්වා ඉහළ නැංවීමටත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගැනීමටත් කටයුතු කරන බව පවසා සිටියේය. 

මීට අමතරව රටෙහි ඩිජිටල් දත්ත ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව වැඩිදියුණු කිරීමට සැලසුම බවද ආචාර්ය විජේසූරිය මහතා මෙහිදී සඳහන් කළේය. 

 “දැනටමත් දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවා තිබෙනවා. ඉදිරියේදී සයිබර් ආරක්ෂාව පිළිබඳ නියාමන ආයතනයක් ස්ථාපිත කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) තවදුරටත් පුළුල් කිරිමටත් කටයුතු කරනවා. GOVTECH ආයතනයත් SLCERT ආයතනයත් එකට එක්ව තමයි සයිබර් ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන්නේ.“