හැටන් නැෂනල් බැංකුවේ (HNB) නව සභාපතිවරයා ලෙස සුරේෂ් ෂා මහතා නම් කරගන්නා බව එම බැංකුව පවසයි. ඊයේ (17) දිනයේදී පැවැත් වුණු බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ හමුවකදී මෙම නම් කරගැනීම පිළිබඳව අවසන් තීරණය ගෙන තිබේ. 
මෙම නම් කිරීම සිදුකරන විටත් ඒ මහතා බැංකුවෙහි ස්වාධීන/ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටියි. ලබන අප්‍රේල් 01 වැනිදා සිට බලාත්මක වන පරිදි සුරේෂ් ෂා මහතා හැටන් නැෂනල් බැංකුවෙහි නව සභාපතිවරයා ලෙස පත් කෙරෙන බව බැංකුව සඳහන් කරයි.
වර්තමානයේදී බැංකුවෙහි සභාපතිවරයා වන ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා ලබන මාර්තු 31 වැනිදා පැවැත්වෙන බැංකුවෙහි 57 වැනි වාර්ෂික මහා සභා රැස්වීමෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත්වීමට නියමිතව ඇති අතර, හිස්වන ධුරය සඳහා මෙලෙස සුරේෂ් ෂා මහතා නම් කෙරී තිබේ. මෙම නම් කිරීම සිදුවන අවස්ථාව වනවිට සුරේෂ් ෂා මහතා සතුව හැටන් නැෂනල් බැංකුවෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් බැංකුව පවසයි.
සුරේෂ් ෂා මහතා 2024 වසරේදී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත තේරී පත් වුණු අතර, ඊට පෙර ඒ මහතා සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සීහි සභාපතිවරයා විය.