2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ මාස නවය සඳහා HNB Finance රු- බිලියන 1.15 ක බදු පසු ලාබයක් (PAT) වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 152 ක වර්ධනයකි. HNB Finance හි මාස නවයක කාර්යසාධනය සඳහා රු. බිලියනයේ සීමාව පසු කළ පළමු අවස්ථාව මෙයයි. සමාගමේ බදු පෙර ලාබය (PBT) සියයට 209 කින් ඉහළ ගොස් රු. බිලියන 1.88 ක් විය. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ සමාගම එහි ප්‍රධාන ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලින් ඉපැයීම වැඩි වීම සහ ශේෂ පත්‍රයේ වර්ධනයයි.

මෙම කාල පරිච්ඡේදයේදී දළ ආදායම සියයට 35 කින් රු. බිලියන 12.93 ක් දක්වා වර්ධනය වූ අතර, ශුද්ධ පොලී ආදායම සියයට 52 කින් ඉහළ ගොස් රු. බිලියන 6.03 ක් විය. මෙමගින් HNB Finance එහි සමස්ත සේවා කළඹ හරහා ශක්තිමත් ආදායමක් උපයන බව පෙන්නුම් කරයි.

පළමු මාස නවයේදී HNB Finance හි වත්කම් සියයට 46 කින් රු. බිලියන 85.6 ක් දක්වා වර්ධනය වූ අතර, 2025 මාර්තු මාසයට සාපේක්ෂව සමස්ත ණය කළඹ සියයට 53 කින් ඉහළ ගොස් රු. බිලියන 77.2 ක් විය. මේ හේතුවෙන් සමාගමට අනෙක් තරගකරුවන්ට වඩා සිය වෙළෙඳපොළ කොටස වැඩි කරගැනීමට හැකි විය. ලීසිං කළඹ සියයට 81 කින් වර්ධනය වී රුපියල් බිලියන 48.5 ක් වූ අතර, රන් ණය සියයට 52 කින් එනම් රු. බිලියන 13.6 ක් දක්වා වර්ධනය විය. ප්‍රධාන වශයෙන් ගනුදෙනුකාරභවතුන්ගේ තැන්පතුවලින් සමාගමේ මුළු ණය වර්ධනය වූ අතර, අදාළ කාල පරිච්ඡේදයේදී තැන්පතු සියයට 45 කින් වර්ධනය වී රු. බිලියන 61.0 ක් විය. මෙයින් එම කාලය තුළ HNB Finance සතු ශක්තිමත් සහ විශ්වාසදායක තැන්පතු පදනම පෙන්නුම් කෙරේ. 

මෙම මූල්‍ය කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් HNB Finance සභාපති රජීව් දිසානායක මහතා මෙසේ පැවසුවේය. “මාස 9ක් තුළ රුපියල් බිලියනයක බදු පසු ලාබයක් (PAT) ඉක්මවීම සමාගමේ උපායමාර්ග සැලසුම්වල සාර්ථකත්වය සහ විචක්ෂණශීලීව එය ක්‍රියාත්මක කර ඇති ආකාරය පෙන්නුම් කරනවා. මෙය අත්කර ගැනීම සඳහා කැපවීමෙන් සහ වෙහෙස මහන්සි වී කටයුතු කළ අපගේ කළමනාකාරිත්වයට සහ කාර්ය මණ්ඩලයටත් අප කෙරෙහි තබා ඇති විශ්වාසය වෙනුවෙන් ආයෝජකයන්ට හා කොටස් හිමියන්ට මෙන්ම අඛණ්ඩ සහයෝගය ලබා දුන් අපගේ වටිනා ගනුදෙනුකරුවන්ටත් මා ස්තූතිවන්ත වෙනවා. රට තුළ පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු නොවන මූල්‍ය ආයතනයක් බවට පත් වෙමින් අපගේ ගනුදෙනුකරුවන්ට සහ පුළුල් ආර්ථිකයට සහාය වන වගකිවයුතු මූල්‍ය විසඳුම් අඛණ්ඩව ලබා දීමට අප කැපවෙනවා.”