Forbes India DGEMS 2024 ට අනුව ලොව වේගයෙන්ම වර්ධනය වන සමාගම් 100 අතරට තේරී පත්වූ, අත්දැකීම් බහුල දේපළ වෙළෙඳාම් සහ ජීවන රටා සංවර්ධන ආයතනයක් වන Fracspace විසින් සිය ප්‍රථම ජාත්‍යන්තර ව්‍යාපෘතිය වන ‘Altaira’ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ලංකාවට පිවිසියේය. රුපියල් බිලියන 5ක එනම්, ඇමරිකානු ඩොලර් මිලියන 15ක දැවැන්ත ආයෝජනයක් සහිත මෙම ව්‍යාපෘතියෙන් මෙරට “ගමනාන්ත කේන්ද්‍රීය ජීවන රටාව” නව මානයකට ගෙන යාමට අපේක්ෂා කරනු ලබයි.

‘Altaira’ යනු, ගොඩනැගිලි සංකීර්ණයක් පමණක් නොවේ. එය ස්වභාවධර්මය, නවීන සැලසුම් සහ සත්කාරක සේවා ඒකාබද්ධ කරමින් ඉදිවන සුවිශේෂී මෙන්ම මානව හිතකාමී ජීවන අවකාශයකි. එසේම අඩු ඝනත්වයකින් යුතුව ස්වාභාවික සෞන්දර්යය ආරක්ෂා වන පරිදි මෙය නිර්මාණය කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය, සුඛෝපභෝගී ජීවිතය සහ දිගුකාලීන ආයෝජන වටිනාකම පිළිබඳ දැනට පවතින ලාංකේය අදහස් වෙනස් කිරීමට සමත් වනු ඇත.

මුහුදු මට්ටමේ සිට අඩි 2,000ක් පමණ උසින්, මීදුමෙන් වැසුණු බුලත්කොහුපිටිය කඳුකරයේ අක්කර 26ක මනරම් භූමියක Altaira ව්‍යාපෘතිය විහිදී පවතී. සොබාදහම සමග මනාව මුසුවන පරිදි නිර්මාණය කර ඇති මෙම සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘතිය, අක්කර පහක අතිසුඛෝපභෝගී රිසෝට් එකකින්, සොඳුරු කඳු වැටියට මුහුණලා පිහිටි නිවහන (Ridge Suites) 24කින් සහ පූර්ණ සේවා පහසුකම් සහිත පෞද්ගලික විලා (Villas) 40කින් සමන්විත වේ. නිදහස සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකෙන පරිදි සැලසුම් කර ඇති මෙහි ඇති සෑම අංගයක්ම පහළ මිටියාවතේ මනරම් දර්ශනයන් අසිරිමත් ලෙස විඳගත හැකි අයුරින් නිමවා තිබීම විශේෂත්වයකි.

මෙම ආයෝජනයට මූලික හේතුව වී ඇත්තේ, ලංකාව සංචාරක ගමනාන්තයකින් ඔබ්බට ගොස්, ගෝලීය ප්‍රාග්ධනය ආකර්ෂණය කරගත හැකි සහ ගුණාත්මක ජීවන රටාවක් සඳහා සුදුසුම ස්ථානයක් ලෙස හඳුනාගෙන තිබීමයි. Altaira ව්‍යාපෘතියේ මූලික සංකල්පය වන්නේ “Above the Clouds” (වළාකුළුවලට ඉහළින්) යන්නයි. මෙයින් භූගෝලීය පිහිටීම, පැහැදිලි දැක්ම සහ සැලසුම් සහගත වර්ධනය සංකේතවත් කරනු ලබයි. තදබදයෙන් පිරුණු නාගරික සුඛෝපභෝගී වෙළෙඳපොළට විකල්පයක් ලෙස, විවෘත භාවය සහ අත්දැකීම් මත පදනම් වූ වටිනාකමක් මෙහිදී පාරිභෝගිකයාට හිමි වනු ඇත.

පරිසර හිතකාමී සහ අත්දැකීම් බහුල සංචාරක ගමනාන්තයක් ලෙස නිර්මාණය කර ඇති Altaira, ස්වභාව සෞන්දර්යය සහ සුවතාව මුල් කරගත් අංග රැසකින් සමන්විතය. තේ වතු මැදින් දිවෙන මංතීරු, වර්ෂා වනාන්තර අත්දැකීම්, මීදුම් සේල අතර ඉදිවූ නැරඹුම් මැදිරි ගංගා ආශ්‍රිත ස්වභාවික උණුදිය ස්නාන අත්දැකීම් (Onsen) සහ මිටියාවතේ අසිරිය පෙනෙන නිමාවක් නොපෙනෙන පිහිනුම් තටාකයක් මෙහි අන්තර්ගත වේ. මීට අමතරව, නැවුම් අස්වැන්නෙන් පිරිපුන් ‘Farm-to-table’ අවන්හලක්, එළිමහන් කැෆෙ පරිශ්‍ර සහ විවේකී කලාපවලින් මෙය හැඩවෙයි. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මේ සියලු‍ නිර්මාණ ස්වභාවික භූ විෂමතාවලට බාධා නොකර, එම කඳුකර පරිසරය සමඟම මනාව බද්ධ වෙමින් ගොඩනගා තිබීමයි.