JXG (ජනශක්ති සමූහය) ට අනුබද්ධ පූර්ණ සේවා ආයෝජන සමාගමක් වන  First Capital Holdings  ලාංකික තරුණ තරුණියන්ට ආයෝජනයේ මූලික සංකල්ප හා සිද්ධාන්ත හඳුන්වා දීම සඳහා  Invest-ED  නමින් විශේෂ මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2024 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහන, මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වුණු දේශයක් ගොඩනැංවීමට සමාගම දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. 

මූල්‍ය නිදහස ආරම්භ වන්නේ දැනුවත් තීරණ වලින්ය යන්න Invest-ED  වැඩසටහනට පදනම් වී ඇති මූලිකම අදහසයි. මෙමගින් ආයෝජනයේ මූලිකාංග පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාදෙන අතර, අවදානම් දැරීමට රුචිකත්වයක් දක්වන පුද්ගලයන්, දීර්ඝකාලීනව සැලසුම් කරන්නන් සහ කෙටිකාලීන අවස්ථා හඹා යන්නන් ආදී වශයෙන් විවිධ ආයෝජක චරිත ලක්ෂණවලට ගැළපෙන ආකාරයට ආයෝජනය කරමින් ධනය ගොඩනංවා ගැනීමේ ක්‍රියාවලියට දායක වීම සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිගන්වනු ලැබේ, 

විශ්වවිද්‍යාලවල පවත්වනු ලබන, පැයක කාලයක් පුරා දිවෙන අන්තර්ක්‍රියාකාරී සැසි වශයෙන්  Invest-ED  වැඩසටහන පවත්වනු ලබයි. මෙම සැසි මෙහෙයවනු ලබන්නේ First Capital  අරමුදල් කළමනාකරුවන්, කොටස් වෙළෙඳපොළ විශේෂඥයන් සහ පර් යේෂණ විශ්ලේෂකයන් ඇතුළුව ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රවීණ වෘත්තිකයන් විසිනි. ඔවුහු සිසුන් සමග සෘජුවම සම්බන්ධ වී, ඔවුන්ගේ රුචිකත්වය, අභිලාෂ සහ ගැටලු‍  අවබෝධ කරගෙන ඔවුන්ට දැනුම ලබාදීම සිදුකරති. එහිදී ඔවුන් විසින් විශ්ව විද්‍යාල සිසුන්ට වඩාත් සමීප භාෂා රටාවක් සමග ප්‍රායෝගික නිදර්ශන භාවිත කරමින්, සංකීර්ණ ආයෝජන සංකල්ප සරල ලෙස ඉදිරිපත් කරමින්, නිසි දැනුම සහිතව නිසි කලට ආයෝජනය කිරීමෙන් දීර්ඝකාලීන මූල්‍ය ප්‍රතිඵල ළඟා කරගන්නා ආකාරය සිසුන්ට පෙන්වා දෙනු ලැබේ.  

2024 වසරේදී දියත් කරන ලද  Invest-ED  වැඩසටහන මේ වන විට SLIIT,  කැලණිය විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළු විශ්ව විද්‍යාල කිහිපයකදී සාර්ථක ලෙස පවත්වා ඇත. මේ යටතේ 2025 වසර තුළදී දැනුවත් කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 1,000 කට අධිකය.