Fairway Holdings සමාගම සිය 7 වැනි සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතිය වන ‘Fairway Latitude’පසුගියදා නිල වශයෙන් ආරම්භ කළේය. අංක 07, හයිලෙවල් පාර, කිරුළපන යන ස්ථානයේ ‘Fairway Latitude’ සුඛෝපභෝගී නිවාස සංකීර්ණය ඉදිකෙරේ. 
Fairway Holdings යනු මෙරට දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සුඛෝපභෝගී බව සහ උසස් ප්‍රමිතිය සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා සිටින දේපළ ඉදිකිරීම් සමාගමකි. Fairway Latitude ව්‍යාපෘතිය එම සමාගමේ ඉදිරි ගමනේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරයි. 
කොළඹ 05 ප්‍රදේශයේ පිහිටා ඇති Fairway Latitude ව්‍යාපෘතිය වෙත හයිලෙවල් පාර ඔස්සේ මෙන්ම බේස්ලයින් පාර ඔස්සේද පහසුවෙන් ළඟා විය හැක. එමෙන්ම ඒ අවට ප්‍රධාන පෙළේ පාසල්, ව්‍යාපාරික වශයෙන් වැදගත් ස්ථාන, ප්‍රධාන පෙළේ රෝහල්, ජනප්‍රිය සාප්පු සංකීර්ණ සහ ඉහළ පෙළේ අවන්හල් ඇතුළු පහසුකම් රාශියක් පිහිටා තිබේ. විශේෂයෙන්ම කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ මාර්ගවලට ආසන්නව Fairway Latitude ව්‍යාපෘතිය පිහිටා තිබීම එහි නිවැසියන්ගේ ජීවන රටාවට ඉමහත් පහසුවක් වනු නිසැකය. 
Fairway Latitude හි පිහිටා ඇති Rooftop Infinity Pool වර්ගයේ පිහිනුම් තටාකය පිහිටි ස්ථානයට කොළඹ නගරයේ අසිරිය මැනැවින් දිස් වේ. එමෙන්ම මෙම නිවාස සංකීර්ණයට පූර්ණ පහසුකම් සහිත ව්‍යායාම මධ්‍යස්ථානයක්, මනාව සකස් කරන ලද Rooftop Terrace පරිශ්‍රයක් සහ 250 කට අධික පිරිසකට රැඳී සිටිය හැකි උත්සව ශාලාවක්ද ඇතුළත්ය. මීට අමතරව නිවැසියන්ට එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගත හැකි අලෙවිසලක් Fairway Latitude පරිශ්‍රයේ පිහිටා ඇති අතර, නිවැසියන් වෙනුවෙන් Concierge සේවාවක්ද පිරිනැමේ. එපමණක් නොව, නිවැසියන්ගෙන් පහසුව වෙනුවෙන් සේවා ජංගම යෙදුමක් (Resident Service App) ද හඳුන්වා දීමට නියමිතය. 
ව්‍යාපෘතිය එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දක්වමින්  Fairway Holdings  සමාගමේ සභාපති විරාත් ද අල්විස් මහතා මෙසේ පැවසීය. ‘‘Fairway Latitude අපේ ගමන් මගේ නව ආරම්භයන් රැසක් සනිටුහන් කරන ව්‍යාපෘතියක්. එය අපගේ සත්වන සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය වගේම, කොළඹ වාණිජ දිස්ත්‍රික්කය තුළ අප දියත් කළ පළමු නිවස ව්‍යාපෘතියද වනවා. මෙහි ඉදිකිරීම් දැනටමත් ආරම්භ කර ඇති අතර, අපගේ පෙර සංවර්ධන ව්‍යාපෘතිවල අනිවාර්ය අංගයක් වූ, Fairway සමාගමට අනන්‍ය උසස් ප්‍රමිති මෙහිදීද අනුගමනය කිරීමට අප බලාපොරොත්තු වනවා. පසුගිය වසර කිහිපය තුළ අප වෙත ලබා දුන් සහයෝගය වෙනුවෙන් විශේෂයෙන්ම සෙලාන් බැංකුව ඇතුළු සියලු‍ම හවුල්කරුවන්ට අපගේ ස්තූතිය හිමි විය යුතුයි.”‍