Evolution Auto සමාගම සිය සන්නාමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කරමින් සිය IM 6 විද්‍යුත් වාහනවල පළමු කාණ්ඩය ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට සාර්ථකව බාරදුන්නේය. මෙම සුවිශේෂී ජයග්‍රහණය හරහා දේශීය වෙළෙඳපොළට හා අනාගත විද්‍යුත් සංචලනයට අති නවීන සහ උසස්ම මට්ටමේ විද්‍යුත් වාහන හඳුන්වා දීමට සමාගම දරන වගකීම යළිත් තහවුරු කර තිබේ.
සන්නාමය නිල වශයෙන් එළිදැක්වීමෙන් අනතුරුව පළමු IM 6 රථ කාණ්ඩය පාරිභෝගිකයන් වෙත භාර දීම සිදු විය. මෙය හුදෙක් වාහන කිහිපයක් පිරිනැමීමක් නොව, ආයතනය ලබා දුන් පොරොන්දු ප්‍රායෝගිකව ඉටු කිරීමට Evolution Auto සතු හැකියාව මනාව තහවුරු කිරීමකි. මේ වනවිට ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල IM 6 රථ ධාවනය වන අතර, එමගින් IM සන්නාමය යනු පාරිභෝගිකයන්ට සැබෑ ලෙසම සමීප වූ, විශිෂ්ට ගණයේ විද්‍යුත් වාහන සන්නාමයක් බව සනාථ වේ.
IM 6 යනු අතිනවීන සැලසුම් සහ දියුණු ආරක්ෂක විශේෂාංගවලින් සමන්විත විද්‍යුත් වාහනයකි. අඟල් 26.3ක දැවැන්ත infotainment display තිරය, අඟල් 10.5 ක අතිරේක තිරය, රෝද හතරම හැසිරවිය හැකි ‘Crab Mode‘ තාක්ෂණය සහ Level 2 ස්වයංක්‍රීය රියදුරු සහායක පද්ධතිය මෙහි ඇති විශේෂත්වයන් වෙයි. මෙමගින් රියදුරාට අනාගතයට ගැළපෙන සුවපහසු  රිය පැදවීමේ අත්දැකීමක් ලබා දෙයි.
පාරිභෝගිකයාට බාධාවකින් තොර අත්දැකීමක් ලබාදීම සඳහා Evolution Auto ආයතනය වාහන අලෙවි කිරීමට පමණක් නොව, එහි අලෙවියෙන් පසු සේවා කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර ඇත. පෑලියගොඩ පිහිටි  විද්‍යුත් වාහන සඳහාම වෙන් වූ සේවා මධ්‍යස්ථානය සහ පුහුණු විශේෂඥ සේවා කණ්ඩායම හරහා IM  රථ හිමිකරුවන්ට දිගුකාලීන විශ්වාසනීයත්වය සහ විශිෂ්ට සේවාව සහතික කරයි.
මෙම ප්‍රථම වාහන පෙළ සාර්ථකව භාරදීම හරහා ශ්‍රී ලංකාව තුළ ඉහළ පෙළේ විද්‍යුත් වාහන සඳහා ඇති වර්ධනය වන උනන්දුව මැනවින් පිළිඹිබු වේ. පාරිභෝගික විශ්වාසය ඉහළ යාම, තාක්ෂණයේ දියුණුව සහ පරිසර හිතකාමී තිරසාර ප්‍රවාහන විසඳුම් වෙත ජනතාව නැඹුරු වීම මෙම වර්ධනයට ප්‍රධානතම හේතු වී තිබේ.
මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව Evolution Auto හි සන්නාම ප්‍රධානී අශාන් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය. “අපගේ ප්‍රථම IM 6 රථ පෙළ පාරිභෝගිකයන් වෙත භාරදීමට හැකිවීම Evolution Auto ආයතනය ලැබූ සාඩම්බර මෙන්ම තීරණාත්මක ජයග්‍රහණයක්. මෙයින් පාරිභෝගිකයන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය මැනවින් පිළිඹිබු වෙනවා මෙන්ම, ගෝලීය මට්ටමේ විද්‍යුත් වාහන මෙන්ම අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සහිත පරිපූර්ණ අත්දැකීමක් ලබා දීමට අප තුළ ඇති කැපවීම මින් තහවුරු වෙනවා. අප කෙරෙහි විශ්වාසය තැබූ මුල්ම පාරිභෝගිකයන්ට  අපි ස්තූතිවන්ත වන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන සන්නාමයක් ලෙස IM හි ඉදිරි ගමන පිළිබඳව අපට විශාල විශ්වාසයක් තිබෙනවා.”‍ 
දැන් IM 6 රථ ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල සක්‍රීයව ධාවනය වීමත් සමඟ මෙරට විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ විශ්වාසනීය සහ දක්ෂ පාර්ශ්වකරුවකු ලෙස Evolution Auto සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කර ගෙන ඇත. ඒ හරහා පාරිභෝගිකයන්ට දිගුකාලීන සහයෝගය, නවෝත්පාදන සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන සේවාවන් පිළිබඳ සහතිකය අඛණ්ඩව හිමි වේ.