ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් මෝටර් රථ විසඳුම් සම්පාදකයා වන Evolution Auto, සිය KYC විද්‍යුත් වාණිජ වාහන හතක් දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු සඳහා Onesh Investment සහ Tropical Seeds යන ආයතන සමඟ එක්ව සාර්ථකව යෙදවීමට සමත්ව ඇත. ලංකේය ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා මෙම වැඩපිළිවෙළ මගින් විද්‍යුත් වාණිජ වාහන යනු විශ්වසනීය, පහසුවෙන් ව්‍යාප්ත කළ හැකි මෙන්ම ලාභදායී විකල්පයක් බව තහවුරු කරන ප්‍රායෝගික සාක්ෂියක් වනු ඇත.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි දැනටමත් ක්‍රියාකාරී වාණිජ සේවාවන්හි යොදවා ඇති මෙම KYC විද්‍යුත් වාහන, පූර්ණ වාණිජ බර (Full Load) සහිතව දෛනික බෙදාහැරීමේ කටයුතු සඳහා නිරන්තරයෙන් දායක වේ. කිලෝග්‍රෑම් 1200ක් දක්වා වූ බරක් ප්‍රවාහනය කිරීමේ දී පවා එක් වරක් ආරෝපණය කිරීමෙන් (Per Charge) කිලෝමීටර් 300 සිට 350කට අධික දුරක් ධාවනය කළ හැකි බව මෙහෙයුම් දත්ත මගින් තහවුරු වී ඇති අතර මේ දක්වා කිසිදු යාන්ත්‍රික හෝ ක්‍රියාකාරී දෝෂයක් වාර්තා වී නොමැත. මීට අමතරව, කිලෝමීටර් 11,000 - 12,000 ක පමණ දුරක් කිසිදු සේවා වාරයකින් තොරව ධාවනය වෙමින් පවතින මෙම වාහන ඒවායේ කල්පැවැත්ම සහ නඩත්තු පිරිවැය අවම බව මනාව තහවුරු කර ඇත.

ලංකාවේ පවතින අභියෝගාත්මක ධාවන පරිසරය තුළ වුවද වාණිජ කටයුතු සඳහා විදයුත් වාහන දිගුකාලීනව සහ ප්‍රායෝගිකව යොදාගත හැකි බව මෙම ව්‍යාපෘතිය මගින් තහවුරු කරයි. එමෙන්ම විදයුත් වාහන පිළිබඳ කතාබහ හුදු පර්යේෂණ මට්ටමේ ව්‍යාපෘති හෝ පරීක්ෂණ ධාවන පථවලට පමණක් සීමා වූ ප්‍රකාශයන්ගෙන් ඔබ්බට ගොස් ඒවා සැබෑ ලෝකයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි බව මෙයින් මනාව පැහැදිලි වේ. 

Evolution Auto හි, වාණිජ වාහන අලෙවි සහ මෙහෙයුම් ප්‍රධානී ඩිවාන් විජේරත්න මහතා මෙසේ පැවසීය. “මෙම වාහන භාවිතයට ගැනීම කෙතරම් සරල මෙන්ම ප්‍රබල පියවරක්ද යන්න මෙමගින් මනාව පැහැදිලි වෙනවා. KYC විද්‍යුත් වාණිජ වාහන යනු අත්හදා බැලීම් මට්ටමේ පවතින ඒවා නොව, සැබෑ ලාංකික මාර්ග සහ දේශගුණික තත්ව යටතේ දිනපතා ක්‍රියාත්මක වන වාහනයි. රියදුරු සුවපහසුව සහ බාධාවකින් තොරව මෙහෙයුම් සිදු කිරීමේ සිට, ධාවන පරාසයේ විශ්වසනීයත්වය සහ බර පැටවීමේ ධාරිතාව දක්වා වාණිජ මෙහෙයුම්කරුවකුගේ සියලු‍ අවශ්‍යතා මෙම වාහන බලඇණිය සපුරා තිබෙනවා. ලංකාවේ සැපයුම් ජාල සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය පුරා විද්‍යුත් වාහන ව්‍යාප්ත කිරීමට අවශ්‍ය විශ්වාසය මෙයින් අපට ලැබෙනවා.”‍