තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කරන ලෙස ලබා දුන් නියෝගය අහෝසි කිරීමට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළ බව වාර්තා වෙයි. 
ඒ අනුව මෙම තොරතුරු හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවරය පිළිගනිමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබීමත් විෂෙත්වයකි.
මෙරට ක්‍රියාත්මක ස්වාධීන බුද්ධි මණ්ඩලයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ මෙම තොරතුරු ඉල්ලා තිබේ. ඒ අනුව රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු සම්බන්ධව මිලදී ගත් දිනයන්, ඵලදායිතාව, මිල ගණන් සහ ගනුදෙනුවලට අදාළ පාර්ශ්ව යනාදිය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් සහිතව සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන පිළිබඳව මෙහිදී ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජමය වශයෙන් සංවේදී තොරතුරු හෙළිදරව්කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. එසේම 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5 (1) වගන්තිය යටතේ දක්වා ඇති ව්‍යවස්ථාපිත ව්‍යතිරේඛ තුළට ඇතුළත්වීම යන පදනම මත ගනුදෙනු පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
එසේම අභියාචනාධිකරණයද මෙම හෙළිදරව් කිරීම් තුළින් තෙවැනි පාර්ශ්වයකට හානියක් විය හැකි වාණිජමය වශයෙන් රහසිගත තොරතුරු ආරක්ෂා කිරීම පිළිබඳ ව්‍යතිරේඛය තුළට ඇතුළත් වන බව තීරණය කරමින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ තීරණය නිෂ්ප්‍රභ කර තිබේ.
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු හෙළිදරව් කිරීමෙන් අරමුදලේ ආයෝජන උපායමාර්ගයන් නිරාවරණය වන බවත් එමගින් රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසිවලදී වෙළෙඳපොළ සහභාගි වන්නන්ට සිය ලංසු පිළිබඳ පූර්වාපේක්ෂණයන් කිරීමට සහ උපායශීලී ලෙස සිය ලංසු ඉදිරිපත් කිරීමට හැකි වන බවත් අභියාචනාධිකරණය විසින් නිරීක්ෂණය කරනු ලැබ තිබේ. 
එසේම මෙමගින් මිලියන ගණනක් වූ අරමුදලේ දායකයන්ට බලපෑමක් සිදුවන අයුරින් සේවක අර්ථසාධක අරමුදල තරගකාරී අවාසියකට සහ ප්‍රතිලාභ ලැබීම අවම වීමටකට ලක්විය හැකි බවද අධිකරණය විසින් අවධානයට යොමු කර තිබේ.