දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රමිතිවලට අනුකූල වන ඇසුරුම්කරණ විසඳුම් පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB)  ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය (NPC)  අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් සඳහා “කුළුබඩු සඳහා ඇසුරුම්කරණ උපාය මාර්ග” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්  පසුගියදා පැවැත්වීය. ඉකුත්දා EDB හිදී පැවති වැඩමුළුවට අපනයනකරුවන් සහ විභව අපනයනකරුවන් 65 කට අධික පිරිසක් සහභාගී වූහ.

අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පිහිටුවන ලද ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාවේ ඇසුරුම් කර්මාන්තය ප්‍රවර්ධනය හා සංවර්ධනය සඳහා දායක වෙයි. එය රාජ්‍ය ආයතන සහ කර්මාන්ත හවුල්කරුවන් සමග සහයෝගීතාව වර්ධනය කිරීමෙන් අපනයනකරුවන්, නිෂ්පාදකයන්, නිර්මාණකරුවන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, කාන්තා ව්‍යවසායකයන් සහ පර්යේෂණ ආයතන ඇතුළු විවිධ පාර්ශ්වකරුවන්ට සහාය වේ. ඇසුරුම්කරණ අංශය ශක්තිමත් කිරීම සහ කෘෂිකාර්මික අපනයනවල තිරසාර වර්ධනයට සහාය වීම සඳහා ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

කුළුබඩු ඇසුරුම් කිරීමේදී හොඳම පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීම, එමගින් දේශීය හා ගෝලීය වෙළෙඳපොළේ නිෂ්පාදන තරගකාරිත්වය වැඩිදියුණු කිරීම මෙහි  ප්‍රධාන අරමුණු විය. 

ඇසුරුම්කරණ උපදේශකයකු වන ඩබ්ලිව්. අභය සෙනවිරත්න මහතා සහ CMC ඉංජිනේරු (පුද්ගලික) සමාගමේ කළමනාකරු සනත් වනිගසේකර මහතා මෙම වැඩමුළුවට සම්පත් දායකත්වය ලබා දුන්හ.

ඇසුරුම්කරණයේ වැදගත්කම සහ කාර්යයන්, කුළුබඩු සඳහා ඇසුරුම්කරණ ශිල්පීය ක්‍රම, කුළුබඩු ඇසුරුම් සඳහා ද්‍රව්‍ය තෝරා ගැනීම මෙන්ම ආහාර කර්මාන්තයේ භාවිත වන ඇසුරුම් යන්ත්‍රෝපකරණ වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ඔවුන්ගේ සැසි මගින් ආවරණය කරන ලදී.

නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම, නාස්තිය අවම කිරීම සහ නියාමන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීමට සුදුසු ඇසුරුම්කරණ ක්‍රම සහ ද්‍රව්‍ය තෝරා ගැනීම පිළිබඳව සහභාගිවූවෝ අවබෝධයක් ලබා ගත්හ.